Saturday, November 1, 2014


මේ ගෙවෙන්නේ සාහිත්‍ය මාසයයි.. සාහිත්‍ය මාසය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට කියවීමේ මාසයත් හෙමි හෙමින් ලගා වන බව කවුරුත් දන්නා  නොරහසකි. පොතක් කියවීම තුලින් මිනිසා පරිපුර්ණත්වයට පත් වේ යැයි කියමනක් ද අප අතර තිබේ. ඒ කෙසේ නමුදු පොතක් යනු සැබෑ ලෝකයේ දුෂ්කරතා වලින් මොහොතකට අප ඈත් කර සිත් සනසා ලන සුවයක් දෙන අරුම පුදුම මාධ්‍යයකි.

මොහොතකට හෝ සිත මදක් හෝ නිවාගෙන සොදුරු ලෝකයක සරන්නට කව්රුන් ද අකමැති??

නමුත් පොතක් ඇසුරු කරන්නට තබා පොතක සුවද විදින්නටවත් හැකියාවක් නැති දරිද්‍රතාවයේ අදුරුම පතුලක  එදා වේල වත් හරියකට නොලැබෙන අසරණ පුංචි ජිවිත රැසක් හුස්ම ගන්නා බැව් කිව යුතුය.. ඒ කොළඹින් බෝ දුර  දුෂ්කර යැයි සම්මත ලෝකයක ය.

එවන් අසරණ දරුවන් හොයා ඔවුනට නිබදව සහය වන සමාජ සංවර්ධනය සදහා වූ අන්තර්ජාතික සංවිධානය ( IMCD ) දුෂ්කරතා සහිත දරුවන්ට අවශ්‍ය පුස්තකාල පොත් සේම අධ්‍යාපනික උපකරණ අධ්‍යාපන ශිෂ්‍යත්ව ද ලබා දෙමින් ඔවුන්ගේ ජිවිත වලට ආලෝකයක් ලබා දෙන්නට වෙහෙසෙන වැඩසටනකි.

Needy Readers ව්‍යාපෘතිය යනු දුෂ්කර පළාත් වල සිටින අඩු පහසුකම් සහිත දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනයටත් කියවීමට ඉතා ආසාවෙන් සිටින මුත් පොත් නැති දරුවන්ටත් සහය වන ඔවුන්ට අවැසි පොත් ලබා ව්‍යාපෘතියකි.

මේ වන විට ඔවුන් පොත් 3
4,100කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා තලය පුරාම විහිදුනු 69කට අධික ස්ථාන රැසක් කරා යොමු කර තිබීම විශේෂත්වයකි. ඒම ස්ථාන අතර පාසල් , ළමා නිවාස  සේම හමුදා කදවුරු සිර කදවුරු තිබීම ද සදහන් කල යුත්තකි.
 

උනන්දුවත් හොද දක්ෂතවයකුත් තිබෙන දරුවකුගේ/ දැරියකුගේ අනාගතය තමන්ගේ පාසලේ හෝ තමාගේ නිවසේ තිබෙන පහසුකම් අඩු බව නිසා අකාලයේ මියැදෙනවා කියනනේ ඉතා විශාල පාඩුවක් හා දුකක්. එවන් දරුවන්ට ඔවුන්ගේ සිහින කරා ගමන් කරන්නට පුංචි හෝ උදවුවක් කරන්නම් පුළුවන් නම් එය ඉතා මහගු සත්කාරයක්. ඒ නිසාමයි අපි මේ විදියට IMCD සංවිධානය ආරම්භ කලේ.. එහි තවත් එක පියවරක් තමා Needy Readers ව්‍යාපෘතිය.

එසේම කියවීමට හුරු වීම තුලින් පුංචි දරුවන්ට විශාල  මග පෙන්වීමක් ලැබෙනවා ඔවුන්ගේ අනාගත ජිවිතය සාර්ථකව හැඩ ගස්වා ගැනීම උදෙසා.. එත් බොහෝ වෙලාවට දුෂ්කර පලාතක දරුවෙක්ට කියවීමට පොතක් මිල දී ගන්නටවත් වත් කමක් නැහැ.. ඉතින් ඒ නිසාම ඔවුන්ට අවශ්‍ය පොත් පත් ලබා දී සහය විමයි අපේ අරමුණ..

ඔබ ගාව කියවලා අවසන් වුනු ඔබට අවශ්‍ය නැති පොත් , ඔබ ලග වැඩි පුර ඇති පොත් හෝ මේ දරුවන් වෙනුවෙන් සිහිවටන විදියට අලුත් පොත් කිහිපයක් හෝ ලබා දෙන්න පුළුවන් නම්  එය ඔවුන්ට විශාල ශක්තියක්.. “
  IMCD සංවිධානයේ සභාපති උපුල් සේනානායක ඒ විදියට කිවේ ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින්.

සැබෑවටම ඔවුන් කරනා ඒ කටයුත්ත අගේ කල යුතුයි.. ඉතින් එන්න අපිත් අපිට ඇති හැකි අයුරින් දසත විහිදී සිටින පුංචි දරුවන්ට අපේ අනාගත පරපුරට උදවු කරමු..

පොතක් දී ජිවිතයක් එළිය කරමු..

ඔවුනට ඔබත් උදව් කරන්නට තව දුරටත් විස්තර දැන ගන්න කැමති නම් 071 666 3282
– upul , 077 982 91 91 – Lahiru අමතන්න.. එහෙමත් නැතිනම්
http://imcds.org/ වෙබ් අඩවියට පිවිසෙන්න..




- අරුණි කළුපහන - 

Thursday, September 11, 2014

දෛවය මිනිසුන්ව අසරණ කරන්නේ ඇතැම් වෙලාවට බොහොමත්ම අනපේක්ෂිත අන්දමට. 

දවසක් මගේ මිතුරෙක් සමඟ කතා කරමින් ඉන්න වෙලාවක ඔහු මට කියනව වීඩියෝවක් නරඹන්න. ඔහුගේම වචනයෙන් කිව්වොත් ඔහු මට කිව්වේ "Ridmi, CAD එකෙන් අපි තව donation එකක් කරා බලන්ගොඩ පැත්තේ ඒ කතාව බලන්න මේ video එකේ" ඇත්තෙන්ම ඒ වෙනවිටත් එම වීඩියෝව දෙතුන් වතාවක් මගේ නෙත් ගැටුනත් මට බලන්න අවස්ථාවක් ලැබුනේ නැහැ නමුත් මම එය බලන්න පටන් ගත්තා..

ඒ වීඩියෝවෙන් කතාවක් කියවෙනවා..අහිoසක දරු පවුලක්, පොළොවට කඩා වැටෙන්නට ඔන්න මෙන්න වූ කටු මැටි ගැසූ කුඩා කාමරයක්..

දෙවියනේ අපි මොනතරම් අපේ ජිවීතයේදී අපිට නොලැබෙන භෞතික අවශ්‍යතාවයන් පිළිබඳ චෝදනා කරනවද? නමුත් ඔබට,මට ඇත්තෙන්ම එලෙස චෝදනාකිරීමට කෙතරම් දුරට සාධාරණීය වූ අයිතියක් තියනවද යන්න පිළිබඳ දෙවරක් සිතන්නට මේ වීඩියෝව ඔබට මගපෙන්නාවි.

බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුලක, දරුවන් දෙදෙනෙක් පාසල් යවන්නට මේ දෙමව්පියන් කෙසේ හෝ තම යුතුකම ඉටු කරනවා. කටු මැටියෙන් වුනත් පොළොවෙන් ඉහළට එසවුනු නිවසක් සතුවූ ඔවුනට සොභා දහම පවා කෙනෙහිලිකම් කරන්නට පටන් ගන්නව. දෛවයේ සරදමකට මෙන් 4 ශ්‍රේණිය දක්වා පාසල් ගිය ඔවුන්ගේ එක් දරුවෙක් රෝද පුටුවකට වැටෙන්නේ පිළිකා රෝගයකට ගොදුරු වීමෙන්. ඔහුට ප්‍රතිකාර කරන්න නිවසින් බැහැරව සිටි කාලය තුළ සුළඟින් නිවසේ කාමරයක් පමණක් ඉතිරිවන අන්දමින් අපදාවට පත් වෙලා. පියා ඇදුම රෝගයෙන් පෙළෙන්නෙක්.



ඔවුන්ගේ නිවස 





මගේ මිතුරා මේ වීඩියෝ පටය සොයාගෙන තිබුනේ මුහුණු පොතේ තවත් සහෘදයෙකුගේ පළ කිරීමකින්, ඔහු නමින් ප්‍රසන්න උයන්වත්ත.ප්‍රසන්න උයන්වත්ත ගේ සහයෙන් මගේ මිතුරා ඇතුළු IMCD එකමුතුවේ Colour A Dream (CAD) කණ්ඩායම මොවුන් වෙනුවෙන් පුලුවන් අන්දමින් යමක් කරන්න ඉදිරිපත් වෙනවා..සතියක් වැනි අඩු කාලයක් තුළ ඔවුන්ගේ කාර්‍යය බහුල ජීවිතයෙන් ඉඩක් ලබාගෙන අසරණ ඔවුනට එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගන්නට වියළි ආහාර ද්‍රව්‍යය හා පාසල් උපකරණ කට්ටල කිහිපයක් ලබා දෙන්න ඔවුන් බලන්ගොඩ බලා පිටත් වෙන්නේ පසුගිය අගෝස්තු 31 වන දින.ඔවුනට මේ කටයුත්ත කරන්න පරිත්‍යාගශීලීන් බොහොමයකගේ සහය ලැබුනා.




මේ කටයුත්ත දියත් කල මරීනෝ,තරිඳු,ක්‍රිශාන් සහ කැමරාව පිටුපස සිටින තරිඳු ඔබටත් අපේ උත්තමාචාරය


ඇත්ත, මගේ මිතුරා ,ඔහුගේ කණඩායම හා පරිත්‍යාගශීලීන් ලබා දුන් ඒ වියළි ආහාර ද්‍රව්‍යය සති කිහිපයකට ඔවුනට සෑහේවී. නමුත් ඒ කණ්ඩායම තවත් මහඟු කටයුත්තක් ඉටු කිරීමට ඉදිරිපත් වෙනවා..එය CAD කණ්ඩායම විසින් අවුරුද්දක් පුරාවට සිදු කර අන්දමින්ම මේ පවුලේ අසරණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මූල්‍යමය වශයෙන් සහයක් ලබාදෙන්න ඔවුන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න කැප කරුවෙක් සොයාදීමයි.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත්ව ඉදිරියටම කරගෙන යාමට එයින් ඔවුනට මග පෑදෙනු නිසැකයි.





ඔබත් මෙවැනි සත්කාරයන් උදෙසා Colour A Dream සමඟ එකතුව ඔවුන් හට සහය වන්න කැමති අයෙක් නම් 0779006742 Marino Joseph අමතන්න .

ඡායාරූප අයිතිය :Tharindu Sazz Winchester (Paradox Pictures)

More pictures

Saturday, September 6, 2014

Needy Readers පොත් සවාරි



එකමත් එක රටක හරි අපූරු ළමයෙක් හිටියා.. ඒ ළමයාට පුළුවන්කම තිබ්බා ඇහි පිල්ලමක් ගහන පමාවෙන් ලෝකේ ඕනෙම තැනකට යන්න. ඔබ... හිම වලින් වැහිච්චි සීතල කඳු උඩින්... පියාඹන මාළුවෝ ඉන්න හරිම ගැඹුරු නීල මහා සාගරය උඩින් කිසිම කරදරයක් නැතිව යන්න ඒ ළමයට පුළුවන් උනා..

අකුණු ගගහා ගොරවන අඳුරු රාත්‍රී වල ඒ අපූරු ළමයා රොබින්සන් කෘසෝ එක්ක සයුරු ගවේෂණයේ ගියා. දුයිෂෙන් ගුරුතුමා එක්ක පොප්ලර් ගස් යට වාඩි වෙලා අයිලයේ අනාගතේ ගැන හිතුවා... සමහර දවස් වලට ඇලිස් එක්ක විශ්මලන්තේ තේ කෝප්ප සවාරියක් ගියා...

පොත් ඒ අපූරු සවාරි ඔක්කොම යන්න ඒ ළමයාට උදව් කළා.. 

පොතක තියෙන අගය වටිනාකම දන්නේ කන්නේ බොන්නේ නැතිව පොත් ගුල්ලෝ වගේ පොත් වලම ඇලී ගැලී ඉන්න කැමති ඔබම තමයි. හැබැයි ලංකාවේ සමහර පළාත් වල පාසල් වල පොත් වලින් පිරිච්ච පුස්තකාල නෑ... ඒ පුංචි මල් කැකුළු වල කියවීම් පවස නිවන්න NeedyReaders අපේ කණ්ඩායම අත්වැල් බැඳ ගත්තේ මිට වසර දෙකකට පමණ ඉහතදී...

එදා තුන්නාන ශ්‍රී සුමනජෝති විද්‍යාලයට කියවීම් පොත් ලබා දීමෙන් ඇරඹුණු Needy Readers සමාජ සත්කාරය අද වෙන කොට ලංකාවේ හතරදිග්බාගයේ විසිරිලා තියෙන පහසුකම් අඩු පාසල්, තරුණ සංවිධාන, ග්‍රාමීය පුස්තකලා ආදී තැන් වලට පරිත්‍යාග කරන්නට යෙදුනු කියවීම් පොත් ගණන ලක්ෂයකට ආසන්නයි..
පොත් සැණකෙළි පිරිච්ච සැප්තැම්බර් මාසයේ අපේ කණ්ඩායමේ බලාපොරොත්තුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරා ගත් දුෂ්කර පාසල් සමුහයකට කියවීම් පොත් 35,000 ක් ලබා දෙන්න..
ඒ උදාරතර අරමුණ යතාර්ථයක් කරගන්න පුළුවන් ඔබ අපි අත්වැල් බැඳ ගත්තොත් විතරයි. ඔබ කියවලා ඉවර වෙච්චි.. ඒත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන පොතක් හරි... අලුතින්ම ගත්තු සුවඳ ගහන අලුත් පොතක් හරි ඒ දුවා දරුවන්ට පරිත්‍යාග කරන්න අපි එක් වෙමු.
අපේ සසහෝදර පිරිස සැප්තැම්බර් 20 -21 දවස් වල ඔබේ නිවෙස් වලටම ඇවිත් ඒ දයාබර පරිත්‍යාගයන් භාර ගන්න සූදානම්..
071-666 32 82 උපුල්
011-982 91 91 ලහිරු
අපේ මේ දුරකථන අංක වලට කතා කරලා ඔබේ  පරිත්‍යාගයන් ගැන අපිට කියන්න, අපි ඒ උදාර පරිත්‍යාගයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ පුංචි මල් කැකුළු වෙත අරං යන්නම්....

අපි එක්වෙමු... කියවීමේ සා පිපාසාවෙන් පෙලෙන ඒ මල් කැකුළු පුබුදමු.  රමුණර්රික්කයේොට ලංකාවේ හතර කොන  

Sunday, August 17, 2014

රටක සමාජයක දියුණුව රඳා පවතින්නේ එම රටේ තරුණ පරපුරෙහි ගුණාත්මක බව මතයි.නැතහොත් රටේ ළමා පරපුරේ යහපත වෙනුවෙන් අද කරන්නාවූ ආයෝජනය මතයි.

මීට වසර දෙකකට ඉහතදී පෙර කී කරුණු පිළිබඳ මනා අවබෝධයක් තිබූ උගත් මෙන්ම බුද්ධිමත් තරුණයින් තිදෙනෙක් සහයෝගිතාවයක් පිහිටුවාගන්නේ ඔවුනට හැකි පමණින් සමාජයට, එකී සමාජයේ තරුණ පරපුරට මෙන්ම ළමා පරපුරට අත හිත ලබා දෙන්න ,එමඟින් සමාජයට යහපතක් මිස වෙනත් කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙමිනුයි.කාලයේ ඇවෑමෙන් ඒ තරුණයින් තිදෙනා ඇරඹී මහඟු කර්තව්‍යය වටා තවත් තරුණ පිරිස් සිය ගණනක් එක් රොක් වෙන්නේ සමාජයට යහපත සලසන්න යන ඒ ගමනට තවත් සවියක් වෙමින්.ඉතින් ඒ සහයෝගිතාවය නමින් IMCD (සාමාජ සoවර්ධනය උදෙසා වූ අන්තර්ජතික සහයෝගිතාවය ). ඔවුන් තම මෙහෙවර ක්‍රියාත්මක කරන්නේ විවිධ වූ එකිනෙකට වෙනස් ව්‍යාපෘති කිහිපයක මුහුණුවරින්.

ඉතින් එලෙස පටන් ගත් එක් ව්‍යාපෘතියකි ඔවුහු තම තෙවන ව්‍යාපෘතිය ලෙස දියත් කළ කලර් අ ඩ්‍රීම් (COLOURA DREAM) ව්‍යාපෘතිය.

පුoචි කාලේ අපි දැක්ක හීන සැබෑ කරගන්න නොහැකි උනාම හිතට දැනුන වේදනාව ඔබත් විඳල ඇති,අපි හැමොටම එවැනි අත් දැකීම් තියනව.ඉතින් එවන් වූ හීන ගොන්නක් හිතේ පුරව ගත්ත අහින්සක පුoචි නoගිලා මල්ලිලා වෙනුවෙන් ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න අවශ්‍යය උදව් උපකාර ලබා දෙන්නයි කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM) ව්‍යාපෘතිය පිහිටවා ඇත්තේ. 

විශෙෂයෙන්ම සඳහන් කරොත් අධ්‍යාපනික වශයෙන් ක්‍රීඩාමය වශයෙන් යන විවිධ අoශ වලින් විශේෂ දක්ෂතා ඇති නමුත් ඒ සඳහා මූල්‍යමය අවශ්‍යතාවයන් සපුරාගත නොහැකි පවුල් වල දරුවන් වෙනුවෙන් අපි සහය ලබා දෙන්නේ ඔවුනට උදව් කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වෙන පරිත්‍යාගශීලි භවතුන්ගේ උපකාරයෙනි.

එමඟින් ප්‍රථිලාබ ලබන කුඩා දරුවන්ගේම මෙන්ම නොමසුරු පරිත්‍යාගයන් සිදු කරන සියලූම පරිත්‍යාගශීලීන්ගේ අනන්‍යතාවයට,පෞද්ගලිකත්වයට හා පෞරුෂයට හානියක් නොවන අන්දමින් මෙම කර්තව්‍යය සකසුරුවම් ව කරගෙන යාමට කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM) කණ්ඩායම අතරමැදියෙක් ලෙස කටයුතු කරනවා.එමෙන්ම ප්‍රථිලාබ ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වරින් වර නිරීක්ෂණය කරමින් ඔවුන් එම උදව් උපකාරයන් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ප්‍රගතියක් ලබනවාද යන්න සොයා බැලීමත් මෙම කණ්ඩායමේ සාමාජිකයින් අතින් සිදු වෙන්නේ එම දරුවන් අධ්‍යාපනය ලබන පාසල් වල උපකාරයද ඇතුවයි.


ඉතින් අද දවස එකී කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM) කණ්ඩායමට වැදගත් දවසක් ඒ මන්ද යත් මීට හරියටම වසරකට පෙර ඇරඹූ මෙම ව්‍යාපෘතියට අද දවසේදී (2014/ 08/ 18) වසරක් සපිරෙන නිසාවෙනි. වසරකට ඉහතදී පළමු අදියර ලෙසින් කුඩා දරුවන් 5 දෙනෙක් හට උදව් උපකාර කරමින් ඇරඹූ මෙම ව්‍යාපෘතිය වසරක් ආ මේ ගමන් මඟ තුළ අද වන විට තම සිහින කරා ලුහු බඳින පුoචි දරුවන් 25 දෙනෙක්  මෙමඟින් ප්‍රතිලාබ ලබන බව පවසන්නේ හද පිරි සතුටකිනි. ඒ අය ,පැවැති යුද්දයෙන් අවතැන් වූ මන්නාරම ප්‍රදේශයේ අහින්සක දරුවන් කිහිප දෙනෙකුගෙන්ද සමන්විත වන්නේය. ඔවුන් වෙනුවෙන් උපකාර ලබා දෙන්න අපිත් එක්ක අත්වැල් බැඳන් ඉන්න පරිත්‍යාගශීලීන් ගණන 18ක් එමෙන්ම කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM)  කණ්ඩායමේ උන්නතියට අත හිත දෙන ස්වේච්චා සහෝදර සහෝදරියන් පිරිස දැන් 50කටත් ආසන්නයි.



ඉතින් මේ ආ ගමන මෙලෙසින් සාර්ථක කරගන්න අප කණ්ඩායම වටා එක් වුනු ඔබ සැමට අපගේ හද පිරි ගෞරවය.වසරක ගමන තවත් ඉදිරියට ගෙන යමින් අපේ රටේ පුoචි ඒ සිත් දකින අහින්සක සිහින සිත්තම් කරන්නට තව තවත් කටයුතු කරන්නයි අපේ බලාපොරොත්තුව, ඒ කටයුත්ත සාර්ථක කරගන්න එන්න අපිත් එක්ක රොද බැඳෙන්න අපේ එකතුවට ඔබ පැමිනෙන්න ඒ ආරාධනාව ඔබ සැමට විවෘතයි.

To Register as a donor follow : http://colouradream.imcds.org/donor_register.php

For more info follow colour a dream's facebook fan page : ColourADream

or contact Marino Joseph of Donor management team : 0779006742



Monday, July 21, 2014

මල් වගේ පුංචි දරුවෝ කොයි කවුරුත් එක වගේ.. ජාතිය ආගම මොකක් වුනත් ඔවුන් ලෝකය දකින්නේ එක විදියට.. ඔවුන්ගේ අහිංසක හිනා රැල්ලෙන් ලපටි ඇස් වලින් විහිදෙන එළියෙන් ඔවුන් ලෝකය බබලනවා.. පුංචි දරුවෝ කියන්නේ මනුෂ්‍යත්වයට  යන පාර කියන දේව දුතයන් වගේ.. 

ඔබ ගොඩක් දුකින් එහෙම නැත්තම් තරහෙන් ඉන්න මොහොතක පුංචි දරුවෙක් ඇවිත් ඔබ එක්ක කතා කරපු හිනා වුන මොහොතක් ඔබට මතකද ?? ඔබේ තරහාව දුක ඔබට අමතක වුනා නේද ඔවුන් ඉදිරියේ.. ඔබේ හිතට සැනසුමක් දෙන්න ඒ පුංචි හිත් වලට පුළුවන් වුනා නේද..  මේ විශ්වයේම සතුට සැනසුම රැදිලා තියෙන්නේ පුංචි දරුවන් අතේ යි කියලා අපි කියන්නේ අන්න ඒ නිසයි..

හැබැයි හෙට දිනයේ පිපෙන ඉන්න මේ ලපටි මල් කැකුළු වලට හයියක් ඕනේ මයි..  ඒ ඔවුන් මහා ගසක් තරම් ශක්තිමත් නොවෙන නිසාවෙන්.. අනාගතයේදී දවසක ඔවුන් මහා වෘක්ෂයන් ලෙසින් මේ මහා පොලව මතම කලඑළි බසිවී..  ඒත් ඒ දවස එනකම් ඔවුන්ව රැකබලා ගන්නේ කවුද ???  එතකොට කෙනෙක් කියාවි.. ඒකට තමා අම්මයි තාත්තයි ඉන්නේ කියලා.. 

ඔව් ඒක ඇත්ත.. අම්මයි තාත්තයි අපට උණුහුම දීලා අපි ශක්තිමත්ව අපේ දෙපයින් හිට ගන්න පුළුවන් වෙනකම් අපිට හවුහරණක් වුනා තමයි.. ඒත් අම්මා තාත්තා නැතිව ලෝකේ අසරණ වුන දරුවන්ට ඒ විදියට අත දෙන්න කවුද ඉන්නේ ??? ඔවුන් සාමාන්‍ය විදියට මවුපියන් එක්ක හැදෙන දරුවෙක්ට වරප්‍රසාද හම්බෙන්නෙත් නැහැ..  ඒත් ඒ අහිංසක පුංචි දරුවන්ටත් හයියක් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ නේද??? 

අන්න ඒ නිසයි IMCD , Amuzed Team එකේ අපි ඔබවත් එකතු කරගෙන ඒ වගේ අහිංසක පුංචි දරුවන්ට හයියක් වෙන්න හිතුවේ..  ඉතින් ඒ වගේ අසරණ අහිංසක පුංචි ලපටි මල් කැකුළු හොයාගෙන අපි ඊළගට පියවර තියන්නේ රත්මාලන , මාලිගාව පාරේ . අංක 98 දරණ ස්ථානයේ පිහිටි පුංචි පිරිමි දරුවන් රැසකගෙන් සමන්විත නිවසකටයි.. 

ඒ ජුලි මාසේ 29 වෙනිදයි.. එදා දවස ( ප.ව 2.30 ඉදන් 9.00 වෙනකම් ) ඔවුන් එක්ක ගත කරලා ඔවුන් ව සතුටින් තියන්නයි අපේ වෑයම...  හැබැයි අපි ඔවුන්ව බලන්න යන්නේ හිස් අතින් නම් නෙවේ.. ඔවුන්ට අවශ්‍යම කරන දැනට අඩු පාඩු ලෙසින් පවතින දේවල් රැසක් අරගෙන යි.. 

ඉතින් මේ සියලු දේට පුංචි දරුවන්ට ආදරේ කරන ඔයාලටත් දායක වෙන්න පුළුවන්.. ඒ මෙන්න මේ විදියටයි.. 

ඔයාලත් ඒ අසරණ පුංචි ළමයින් එක්ක කතා කරන්න එයාලාට ශක්තියක් වෙන්න , එයාලා එක්ක දවස ගත කරන්න අපිත් එක්ක එන්න කැමති නම් මෙන්න මෙතනින්   ඒ විස්තර අරගෙන සම්බන්ද වෙන්න පුළුවන්.. 

එහෙම නැත්තම් ඒ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න පරිත්‍යාග ලබා දෙන්න කැමති නම් මෙන්න මේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කරන්න පුළුවන්... 

International Movement for Community Development
People's Bank
First City Branch
Savings Account
046-2-001-9-0004462

Or 
International Movement for Community Development
Sampath Bank 
City Office 
Savings Account
100 161 000 380

ඒ වගේම facebook event ඒකට එකතු වෙන්න  මෙතනින් එන්න  

" එන්න යන්න අපිත් එක්ක , අසරණ මල් කැකුළු වලට පාර කියන්න.. " 

ප.ලි - මිට අමතරව වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් Zulaikha 072 787 2322 /  Upul 077 251 7512 හරි එහෙම නැත්තම් IMCD , Amuzed Team එකේ අපි කාගෙන් හරි ඔබට වැඩි විස්තර දැන ගන්න පුළුවන්..



Saturday, May 24, 2014

පිපෙන්නට වෙර දරන මල් කැකුළු සිත්වල සිහින සුන්දරයි, නමුත් ඒ හැම සිහිනයක්ම සැබෑ කරගන්න නොහැකි වන පුoචි මල් කැකුළු අපේ සමාජයේ එමටයි.
ඉතින් ඔවුන්ගේ ඒ සිහින සැබෑ කරගන්න අපට යමක් කළ හැකිනම්? එවන් වූ අධිෂ්ඨානයක් පෙරදැරිව IMCD අපි ඇරඹූ තෙවන ව්‍යාපෘතියයි කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM).

 එමඟින් අපේ රටේ ඉගෙන ගන්න දක්ෂතා ඇති අනාගතයේ වෛද්‍යවරු, ඉන්ජිනේරුවන් එහෙමත් නැත්නම් සoගීතඥයින් වෙන්න සිහින දකින නමුත් ඒ සිහින සැබෑ කරගන්න අවශ්‍යතාවන් ඉටු කරගන්න තම දෙමාපියන්ට එතරම් වත් පොහොසත්කමක් නැති කුඩා මල් කැකුළු සොයාගෙන අපි යනවා.  

ඒ අතර අපි ඔවුන්ට අත හිත දෙන්න කැමැති පරිත්‍යාගශීලීන් පිරිස් සොයා යෑමත් සිදු කරනවා, ඔවුන් ඉදිරිපත් වන අන්දමට පුoචි දරුවන්ට ඇවැසි අධ්‍යාපන, ක්‍රීඩා උපකරණ වැනි දෑ ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු නිමා වන තුරු ශිෂ්‍යත්වයක් ලෙසින් ප්‍රදානය කරන්නට ඒ ඒ එක් එක් දරුවෙකු වෙනුවෙන් එක් පරිත්‍යාගශීලි මහතෙකු හෝ මහත්මියක කැපකරුවෙකු ලෙසින් පත් කරන්නට අප කටයුතු සිදු කරනවා.

මෙහිදී දරුවාගේ පෞරුෂයට හා ආත්මාභිමානයට හානියක් නොවන අන්දමිනුත් ,කැපකරුවන් ලෙස ඉදිරිපත්වන පරිත්‍යාගශීලීන්ගේ පෞද්ගලිකත්වයට බධාවක් නොවන අන්දමටත් ඔවුන් දෙපාර්ශවය වෙනුවෙන් සම්බන්ධීකාරකයෙකු ලෙසින් කටයුතු කිරීමට අපි වග බලා ගන්නවා.

ඉතින් මේ කර්තව්‍යයේ මෙම වසරේ කෙරෙන දෙවන වැඩසටහන සිදුකිරීමට අප කලර් අ ඩ්‍රීම් කණ්ඩායම දැනමටත් සූදානම් වෙමින් සිටිනව. මෙවර වැඩසටහන තුළින් කුඩා දරුවන් 17 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.එලැඹෙන ජූනි මස පළමුවන දින ගම්පහ නගර සභා ශ්‍රවනාගාරයේදී මේ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකිරීමට නියමිතයි.

මේ සඳහා පරිත්‍යාගශීලියෙකු ලෙසින් ඉදිරිපත්වීමට හෝ මේ කර්තව්‍යය පිළිබඳ කිසියම් තොරතුරක් දැනගැනීමට යමෙක් වෙතොත් අප කණ්ඩායමේ Marino Joseph (0779006742)අමතන්න ඔබට පුළුවන්,නැතිනම් පිවිසෙන්න අපේ වෙබ් අඩවියට 


අඳුරට සාප කරමින් කල් ගෙවන්නවුන් අතර ඒ අඳුර මකාලමින් තම දිවිය ජය ගන්න වෙර දරන මල් කැකුළුවන් කුඩාවුන් හට අත්වැලක් වෙන්නට පෙළ ගැසෙමු ඔබට අපට පුලුවන් අන්දමින් හැම දිනම.


Wednesday, March 19, 2014

අවුරුදු දෙකක් IMCD පවුලේ....

එක තත්පරයකින් මුළු ලෝකෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එක තීරණේකින් අපේ මුළු ජිවිතයම වෙනස් වෙන්න පුළුවන්.
 

ඒ 2012 අවුරුද්ද. මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඔව්.. හුස්ම ගන්න, නාඩි වැටෙන විදිහ පවා වෙනස් උනා. 

2012 අගෝස්තු මාසෙදි YouthFest Sri Lanka conference එකේදී මට හම්බ වෙනවා අපූරු මනුස්සයෙක්. ඒ උපුල් සේනානායක. ඔහු මට කියනවා ලංකාවේ දුෂ්කර පළාත් වල තියෙන පාසල් වලට කියවීම් පොත් බෙදා දීමේ ව්‍යාපෘතියක් ගැන. මම අහගෙන ඉන්නවා. කොහොමත් පොත් ගුල්ලෙක් වෙච්චි මට ඒ කතාව අල්ලලා යනවා. මේ වැඩේට සපෝට් එකක් දෙන්න ඕනේ කියලා හිතාගෙන මම Needy Readers ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා.

ඔන්න ඔහොමයි නාඩියා ගේ IMCD ආගමනය සිද්ධ වෙන්නේ. එදා ඉදන් අද වෙනකම්ම මගේ IMCD පවුල මාව ජිවත් කරවනවා.

අපේ යාලුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, දන්නා කියන අයගෙන් කියවන පොත් එකතු කරගෙන අවශ්‍යතා ඇති දුර පළාත් වල පාසල්, සංස්කෘතික මධ්‍යාස්ථාන, පුස්තකාල හොයාගෙන ගිහිං බෙදලා දෙද්දී මට මතක් වෙන්නේ ඒ දවස් වල අපිට අලුත් පොතක් ලැබුනහම ඒ සුවඳ විඳ විඳ අපි හිනා උණු හැටි. පොත් ලැබිලා හරිම අහිංසක විදිහට හිනා වෙන පුංචි උන් හැමදාම අපේ ජිවිතේ අලුත් කළා.

තුන්නාන ශ්‍රී සුමනජෝති විද්‍යාලයෙන් අපි පටන් ගත්ත Needy Readers ව්‍යාපෘතිය, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, පන්නල, කඩුගන්නාව, පානම  වගේ ලංකාව වටේ පළාත් විශාල ප්‍රමාණයකට අපි පොත් අරගෙන ගියා. හිස් වෙච්චි පුස්තකාල වල පොත් රාක්ක අපි ඔයගොල්ලෝ දුන්නු පොත් වලින් පිරෙව්වා.

My Dream School, පුංචි උන් සිහින මවන සිහින පාසලේ සිහිනය යන්තමින් හරි සැබෑවක් කරන්න අපි උත්සාහ ගත්තා. මුල්ම My Dream School ව්‍යාපෘතිය දියත් උනේ අනුරාධපුර, මහකනදරාව යාය 1 විද්‍යාලයේ. යුගොස්ලොඉවියානු ජාතික ජූලියා ගේ උදව් ඇතිව අපි ඒ පුංචි උන් හොයාගෙන ගියේ අත බර වෙන්න තෑගී බෝග අරගෙන. මට තාම මතකයි ඒ තෑගී අරං පුංචි උන් හරිම සතුටින් අපි හදපු වොලිබෝල් පිට්ටනියේ අපිත් එක්ක වොලිබෝල් ගහපු හැටි...

ශ්‍රී ලංකාව වටේ විවිධ පාසල් වලට යද්දී අපි දැක්ක දෙයක් තමයි අවශ්‍යතා තියෙන දූ දරුවෝ බොහොමයක් ඉන්නවා කියන එක. ඒ අයට පුංචි ගෝ සහනයක් දෙන්න IMCD, Color A Dream ව්‍යාපෘතිය නිර්මාණය වෙනවා. මේ වෙනකොට අපි පුංචි මල් කැකුළු බොහොමයකගේ ජිවිතේට පාට දුන්නා කියලා මතක් වෙද්දී හිතට එන්නේ නිරාමිස සතුටක්.

පහ වසර ශිෂ්‍යත්වයට උදව්වක් අරමුණු කරගෙන පටන් ගත්ත Path to Wisdom ව්‍යාපෘතිය අද වෙනකොට වඩාත් සංවිධානාත්මක විදිහට විවිධ සම්මන්ත්‍රණ කරගෙන යනවා ලංකාව පුරාම..

Amuzed!!!! හිනා වෙන්න කැමති අහිංසක මුහුණු වලට හිනාවක් අරගෙන යන්න නිර්මාණය වෙච්චි මේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ කෑගල්ල, බල්ලපාන ඕලන්ද වත්ත අරසරණ සරණ නිවාසයෙන්, ඊට පස්සේ කළුතර මාක් ශ්‍රී නිවාසයටත්, අඹේපුස්ස බෝතලේ “අපේ ළමයි” විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලටත් IMCD අපි ගියා.

ඒ අයත් එක්ක හිනා උනා. සෙල්ලම් කළා. නැටුවා, සින්දු කිව්වා. දවසකට හරි අපි ආයේ ළමයින් උනා. හරිම සතුටක් දැනෙන්නේ දවසින් දවස අපිත් එක්ක එකතු වෙන පිරිස වැඩි වෙනවා දැක්කහම.

මේ ඔක්කොම පටන් අරගෙන තව අවුරුදු දෙකයි. හැබැයි ආපහු හැරිලා බලනකොට අපිටත් හොරෙන් අපේ ඇස් තෙත් වෙන්නේ සතුටු කඳුළු වල උණුසුමට.

මිනිස්සු ජිවත් වෙනවා කියන්නේ හුස්ම ගන්න එකට විතරක් නෙවෙයි. ජිවත් වෙනවා කියන්නේ තවත් කෙනෙක්ට ජිවත් වෙන්න උදව් කරන එකටයි. 

මම ජිවත් වෙනවා.. ඔබ?