Wednesday, January 22, 2014

නුඹ, නුග ගසක් දැක තිබෙනවාද? ඈතට විහිදී යන ප්‍රධාන මාර්ගයක් අසබඩ පිහිටි  අතු පතර විහිදී ගිය විසල් පිරිසකට සෙවන දෙන්නට සමත් රෑස්ස නුග ගසක්. 
ඔබත් මමත් ඒ නුග ගසේ සෙවන යට වෙහෙස නිවා ගන්නට ඇති. පිපාසයට පැන් පොදක් බොන්නට රැඳෙන්නට ඇති. දිවා ආහාරය ගන්නට සතුටු සාමිචියේ යෙදෙන්නට අපි එකතුවෙන්නට ඇති.
ඇයි අපි විතරක් කොපමණ සිව්පාවුන් පිරිසක් මේ අවට රැඳෙන්නට ඇත්ද? කොපමණ කුරුල්ලන් පිරිසකට මේ නුග ගසේ ඵල වැල අහර වන්නට ඇත්ද?
ඇයි අපි තවත් මේ වගේ නුග පැළයක් සිටුවන්නේ නැත්තේ. අළුත්ම තැනක. මේ වගේ අතුපතර විහිදා සෙවන දෙන්නට තවත් පිරිසකට.....

මේ පූර්ව කන්දරයත් අපේ IMCD ආයතනය වගේමයි. පුංචිම පුංචි බීජාංකුරයකින් ශක්තිමත් මුල් සදාගෙන මේ වෙද්දී දළුලා වැඩුනු රූස්ස ගසක් බවට පත්වෙන්න පටන් අරන්. මේ රූස්ස ගසේ සෙවන ලබමින් අපි වගේ ස්වෙච්චාවෙන් සමාජය යහපත් තැනක් බවට පත් කරන්නට කොපමණ මෙහෙයක් ඉටු කර ඇත්ද?

අර මම මුලින් කිව්ව කුරුල්ලෝ....

ඒ අපි නම් නෙමේ. හැබැයි ඒ තමා අපි විසින්
Needy Readers, Colour a Dream, Path to Wisdom සහ Amused ව්‍යාපෘති යටතේ සෙවන ලබා දුන් සෙවනක් අවැසිව සිටි අපේම සොයුරු සොයුරියන් පිරිස...

එතකොට කොහෙද අපි හිටවපු අළුත්ම නුග පැළේ.... අනාගතයේ මේ වගේම රූස්ස නුග ගසක් වෙන්න....

ඒ තමා අපේ IMCD-මහනුවර පරිච්ඡේදය. කොළඹ ගෙන්දගම් පොළොවේ බිහිවුන IMCD විසල් වෘක්ෂයේ Needy Readers ශාඛාවකින් තමා අපි කන්ද උඩරට සෞම්‍ය පරිසරයේ IMCD මහනුවර පරිච්ඡේදය බිහි කළේ...


IMCD ආයතනය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රථම පියවර ලෙස ආරම්භ කළ මහනුවර පරිච්ඡේදය පිහිටුවා මේ වන විට ගෙවි ඇත්තේ සීමිත කාලයක්.  මේ වටා ස්වේචාවෙන් රොද බැඳුන සොයුරු සොයුරියන් පිරිස 30කට අධිකයි.

“පොතක් පරිත්‍යාග කර අනාගතයක් දල්වමු” යන තේමාව යටතේ මේ වන විට ක්‍රියාත්මක වන Needy Readers හෙවත් IMCD ආයතනයේ ප්‍රධානතම ව්‍යාපෘතිය කේන්ද්‍ර කර ආරම්භ වූ IMCD මහනුවර පරිච්ඡේදය මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ සිය කුළුදුල් පොත් ප්‍රධානය කිරිමේ ව්‍යාපෘතිය වෙනුවෙන්. ඒ සඳහා මහනුවර මෙන්ම කාර්ය බහුල කොළඹ සහොදර සහොදරියන්ගෙන්ද නොනිමි සහයක් අපිට ලැබෙනවා .IMCD විසල් වෘක්ෂයේ සෙවන තවත් පිරිසක් වෙත ලබා දීම පරම චේතනාවෙන් ජනවාරි 24 වන දා ඔවුන් සුදානම් වන්නේ ඒ මහඟු කර්තව්‍ය ඉෂ්ට කිරීමටයි.









වර්ෂ 2014 ජනවාරි මස 24 වනදා උදෑසන 9ට කඩුගන්නාව ප්‍රාථමික විද්‍යලයේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රධානය කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු සුදානම්.

1.       කඩුගන්නාව ප්‍රාථමික විද්‍යාලය
2.       කිරින්ද ආදර්ශ පාසල
3.       ගන්නෝරුව මධ්‍ය විද්‍යාලය
4.       උඩඅළුදෙණිය මහා විද්‍යාලය
5.       ලුම්බිණි විද්‍යාලය
6.       අප්ලන්ඩ් ද්‍රවිඩ විද්‍යාලය
7.       අල්-හික්මා මුස්ලිම් විද්‍යාලය
8.       ගම්පොළ දේවි බාලිකා විද්‍යාලය
9.       තිරුවල්ලුවර් විද්‍යාලය

අඩු පහසුකම් යටතේ ඉගෙන ගන්නා ගුරු හිඟයෙන් පීඩා විඳින යාමට ඒමට හරි හමන් මාර්ග පද්ධතියක් හෝ නොමැති එහෙත් ඉගෙනීමට ආස කරන අපේම සොයුරු සොයුරියන් පිරිසක් ඉගෙන ගන්න ඒ පාසල් 9 වෙත සිය කුළුදුල් පොත් ප්‍රධානය කිරීම සත්කාරය සිදු කිරීම අප මහනුවර සොයුරු කැළ මේවන විට අත්වැල් බැඳගෙන හමාරයි.







ප්‍රධානය කිරීමට යෝජිත පොත් සංඛ්‍යාව දෙදහසකට අධිකයි. ඒ දෙදහසකට අධික පොත් සංඛ්‍යාව පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් ප්‍රමාණය මෙතකැයි කියා ගණන් කල නොහැකිය.  අසරණ පිරිසකට පිහිටක් වන්නට දායකවූ ඔබට බොහොමත්ම ස්තූතියි. කාලවේලාව තිබේනම් මේ සුභ කර්තව්‍ය සඳහා පැමිණෙන්න. ඒ අපේ අහිංසක ඉල්ලීමක්.




ඉතින් ඔබත් කැමතිද මේ සඳහා දායක වෙන්න. මේ පළමු කටයුත්ත මෙන්ම තවත් ඉදිරියේදී මෙවැනිම වූ සත්කාර සිදුවේවි ඔබටත් පොතක් පරිත්‍යාග කර එවැන්නක් වෙනුවෙන් දායක වෙන්න පුලුවන්. වැඩිවිස්තර සඳහා පිවිසෙන්න :-



සැකසුම: අශාන් ඉමන්ත බoඩාර

Tuesday, January 14, 2014

පාට පෙවූ පුංචි සිහින.

         

                                පුංචි සන්දියෙ දැකපු ලස්සන සිහින අපි හැමදෙනාටම තිබුණා.සමහරු ඒ හීන සැබෑකරගත්ත . සමහරු ඒ හීන හැබෑකරගන්න පාර හොයාගත්ත.හීන හැබෑ වෙනකොට දැනෙන සතුටත් ,ඒව සුනු විසුනු වෙලා බිමට වැටෙනකොට  දැනෙන වේදනාවත් අපි  ඒ නිසා හොදට හදුනනවා.


                               හීන ලෝක වල අතරමං වෙලා ඉන්න තවත් අවිහිංසක හිත් තුනක හීන හැබෑකරගන්නට අත්තිවාරම දමන්න IMCD අපේ පවුලේ Colour A Dream ව්‍යාපෟතියේ සහෝදර සහෝදරියන් 2014 අවුරුද්දෙ ජනවාරි පස්වෙනිදා ජා ඇල  ගුරුගේ ස්වභාවික උද්‍යානයට ගොඩ වැදුනා.
                             ඒ කැනඩාවේ වසන  ලාංකිකයන් විසින් පිහිටුවාගත් CRL youth Group හි නොමසුරු අරමුදල් වල දායකත්වයෙන්.වයස අවුරුදු විස්ස නොඉක්මවූ සහෝදර පිරිසක් අපත් සමග මෙහිදී අත්වැල් බැදගත්තා.


                            ඒ අක්කලා අයියලා අතින් තෑගි ලබනකොට ,තමන්ගෙ ඔහේ පාවෙන සිහින පාට වෙන අපූරුව දකින පොඩි එවුන්ගෙ සතුට දෝර ගලන සිනා අපි අත් දුටුවා.තමන්ගෙ දූ පුතුන්ගේ තටු ලැබුන හීන  දැකලා මා පිය නෙත් වලින් වැගිරුනු සතුටු කදුලු අපේ නෙත් බොද කලා.මේ හැමදේම දැකලා හෘද්‍යාංගවම සිනාසුනු ඒ තරුණ හදවත් එක්ක අපිත් සිනාසුනා.









                              දැන් අපි හැමදෙනාම බලාන ඉන්නෙ තටු ලැබුනු ඒ හීන පියාඹන හැටි බලන්න ,ඒ හීන වලින් රටේ අනාගතය වරණවත් වෙන හැටි බලන්න.




නංගියේ මල්ලියේ ඒ ඔබේ  සිහිනවල සිටින උතුම් මනුෂ්‍යා ඔබ වනු දකින්නයි. එදා තෑගි දුන්නු අයියලා අක්කලා වගේ ලොවට වැඩ ඇති හොද මිනිසෙකු වනවා
   ඉතින් එදා වගේ තවත් දවසක ඔබේ නමින් ලියලන සිනාවන්ගේ උණුසුම විදගන්න කැමති නම්   අද අප හා එක්ව  දායකයෙකු වන්න         Colour A Dream 


පෙළගැසුම හා සැකසුම: හසාරා තෙන්නකෝන්

Wednesday, January 1, 2014

සතුටු කඳුළු - Christmas To Remember




“මගේ නත්තල දුගියා බත් කන දාය” ගරු මර්සලින් ජයකොඩි පියතුමා ඒ විදිහට නත්තලේ උතුම් අරුත අපිට පැහැදිලි කළා. නත්තල විතරක් නෙවෙයි අපේ ජිවිත වලට සැබෑ අරුතක් එකතු වෙන්නෙත්, අපි ජිවත් වෙනවා කියලා දැනෙන්නෙත් සමාජයට දැනෙන දෙයක් කලාම.
 
පහුගිය දෙසැම්බර් 28 වෙනිදා අපි ආයේ එකතු උනා. IMCD, Youth Fest Sri Lanka එකතුවෙලා ලෝ පුරා පැතිරී ඉන්න දානපතීන් එක්ක එකතු පහදු වෙලා අපි තීරණය කළා හැමදාම මතක හිටින නත්තලක් අපේම සහෝදර පිරිසකට තිලිණ කරන්න. “Christmas To Remember”; IMCD Amuzed ව්‍යාපෘතියේ දෙවැන්න ඒ විදිහට හරිම අපූරුවට කළුතර මාක් ශ්‍රී අසරණ සරණ නිවාසයේ දිග හැරෙන්නේ අන්න ඒ විදිහට.

මාක් ශ්‍රී අසරණ සරණ නිවාසයේ ඉන්නේ අපි වගේම මිනිස්සු. ලෝ දහමේ සරදමකට වගේ ඒ අය අසරණ වෙලා. සමහර අය උපතින්ම ආබාධිත වෙලා. ඒ නිසා සමාජයෙන් කොන් වෙච්චි අපේ අය හොයාගෙන අපි ගියා. හිස් අතින් නෙවෙයි. තෑගී බෝගත් අරගෙන.

මාක් ශ්‍රී නිවාසයට ගිය අපේ කට්ටිය මුලින්ම කොසු ඉදල් එහෙම අරගෙන ලස්සනට ඒ වටපිටාව පිරිසිදු කළා. පිරිසිදු කරන ගමන්ම අපේ තවත් කට්ටියක් දවල් කෑම පිළියෙළ කළා.

  මේ වැඩ කටයුතු යන අතරේ අසරණ සරණ නිවාසේ අපේම අය එක්ක පුංචි කතා බහක යෙදෙන්නත් අපි අමතක කලේ නෑ. සමහර අය මනසින් වැඩිලා නැති උනාට ආදරය කරුණාව වගේ උත්තම මිනිස් ගුණ ධර්ම ඒ අය අස්සේ හැංගිලා තිබ්බා. ඒ නිසාම තමයි තමන් එක්ක එකට ඉන්න අත පය වලංගු නැති සහෝදරියට නැත්නම් සහෝදරයාට කවලා ඊලඟට තමන් කෑම පත අතට ගන්න ඒ අය ඉදිරිපත් උනේ.

හරි ආසාවෙන් ඒ අය කෑම කෑවා.. හිනාවුනා. 

නත්තල හරිම අපූරු මිහිරියාවක් එකතු කරන කැරොල් ගී ප්‍රසංගයක් තියන්න අපේ අය ලක ලැස්ති වෙලා තිබ්බා. හරිම අපූරුවට මාක් ශ්‍රී නිවාසේ පුංචි අයත් අපිත් එක්ක කැරොල් කිව්වා. නත්තල් සීයා තෑගී අරගෙන ඒ අය බලන්න ආවා.

ඒ අය නැටුවා. හිනා උනා. අපිත් හිනා උනා. 

කඳුළු එනකම්ම... ඒ සතුටු කඳුළු.....



ආයේ 2014 මාර්තු 8 මේ වගේම වැඩක් කරන්න IMCD අපි හිතාගෙන ඉන්නවා.. මොකද කියන්නේ. උපන්දින උත්සව.. ජිවිතේ පුංචි පුංචි සැමරුම් වලට අපි හැමදාම වියදම් කරන දෙයින් තවත් අපේම කෙනෙක්ට හිනා වෙන්න උදව්වක් කරමුද?  

Friday, November 15, 2013

       ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම්  විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට වඩා ඒවා පිපෙන්නට දරනා වැයම කෙතරම් දුෂ්කර ද දන්නේ ඔවුන්ම පමණි.

   අපිට ඒ සොදුරු මල් අසිරිමත් ලොවක් කරා ගෙනියන්න නොහැකි වුනත් ඒ අසිරිමත්  ලොව කරා යන විල් තෙරෙන් එගොඩ වීමට පාර කියා දෙන්න පුළුවනි. ඉතින් අපි ඒ නිසාම පුංචි අහිංසක මල් කැකුළු හොයා අනුරාධපුර, මහකනදරා වැව , යාය 1 විදුහලට ගියෙමු. 


 
 නුතන ලෝකයෙන් අංශු මාත්‍රයක්වත් නොයිදුල් වුනු අපුරු ගම්මානයක අහිංසක ලපටි සිනා අහුරක් මැද්දෙන් සමාජ සංවර්ධනය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( IMCD) හි අපගේ ව්‍යාපෘතියක් වන “ මගේ  සිහින පාසැල “ (MY DREAM SCHOOL) පළමු ව්‍යාපෘතිය 2013 නොවැම්බර් 08 වන දින එසේ ආරම්භ කළෙමු.

  නොයෙක් විද කම්කටොළු රැසක් මැදින් ලෝකයේ පිපෙන්නට වෙර දරන මෙම පුංචි දරුවන්ට අග හිග කම් බොහොමයි. නමුත් ඒ හැම බා
ධකයක්ම අභියෝගයක් ලෙසින් බාර ගනිමින් මේ දරුවන් ජීවිතය ජය ගන්නට  දරනා වැයම නම් අපුර්වයි. ඒ වගේම ඔවුන් අපුරු සැගවුණු දක්ෂතා රැසකින් පිරිපුන් දරුවන් පිරිසකි. 




    මහකනදරා වැව, යාය 1  විදුහලේ දරුවන් සමග එක්ව ඔවුන්ගේ ජීවිතය බෙදා ගනිමින් , ඔවුන්ට සවියක් වෙමින් , එදින ඔවුන්ගේ පාසලේදී අප ඔවුනට පාසල් පොත් පත් , ලිපි ද්‍රුවය සේම ක්‍රීඩා උපකරණ , විද්‍යාගාර උපකරණ රැසක් අපගේ  දෑතින් ඔවුන්ට දායාද කරමින් අප අපගේ ව්‍යාපෘතිය අති සාර්ථකව පැවත්වීමු. එසේම ඔවුන්ගේ පාසලට අත්‍යවශ්‍යව තිබුණු අත් පන්දු පිටිය සේම අවශ්‍ය ක්‍රීඩා උපකරණ ද සපයා දී  එදින ඔවුන් සමග ආරම්භක තරගයක් ද පවත්වා ඔවුන් සමග අප ද අත්වැල් බැද ගත්තෙමු. 

වොලිබෝල් පිටිය විවෘත කිරිම



  මේ සියලු කාර්යයන් අපිට මේ සා සාර්ථක කර ගනිමින් මෙවන් අපුරු මෙහෙවරක් කිරීමට අප ව්‍යාපෘතිය හා අත්වැල් බදිමින් අප හා රැදුණු දෙස් විදෙස් මිතුරියන් සියලු දෙනෙක්මද ස්ලෝවැකියානු ජාතික
ජුලියා ස්වෙන්ඩෝවා (Julia Svandova)සේම ඇගේ මිතුරු මිතුරියන් සියලු දෙනෙක්ම ද අපි අපගේ සාර්ථකත්වයේ හිදී ස්තුතිපුර්වකව සිහිපත් කරන්නෙමු.

   හෙට දිනයේ තවත් මෙවන් පුංචි මල් කැකුළු රැසකට පාර කියා දෙන්නට අපි
නැවත සුදානම් වෙමින් සිටිමු. ඉතින් අප ලෙසින්ම මෙවැනි මල් පොහොට්ටු රැසකට ලෝකයට යන පාර කියා දෙමින් හෙට ලෝකය සමග අත්වැල් බැද ගන්නා ලෙසට අප ඔබට ද ඇරයුම් කරමු. 

වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න http://www.imcds.org/- සමාජ සංවර්ධනය උදෙසා  වූ අන්තර්ජාතික සහයෝගිතාව ( I mcd ) එමෙන්ම ඔබත් මේ කර්තව්‍යය හා දායක වන්නට කැමති අයෙක් නම් IMCD කාර්‍යමණ්ඩලයේ   සභාපති,  උපුල් චමීර සේනනායක  -(077)2517512 හෝ  කළමණාකරු-මෙහෙයුම් කටයුතු ,අමිල අමරසිoහ- (071)6304052 අමතන්න.


සිහින සැබෑවී දිව යන ඔහු


  

Tuesday, November 5, 2013

මගේ සිහින පාසැල ....



වීඩියෝ ගේම් එකක්
,මොබයිල් ෆෝන් එකක් එහෙමත් නැත්නම් අයි ෆෝන් (iPhone) එකක් අයි පෑඩ්(iPad) එකක් ලබා ගන්න සිහින දකින පොඩි දරුවන් අද අප රටේ සුලබයි. තම පාසලේ වුව ඔවුහු දකින්නට කැමැත්තක් දක්වන්නේ තිබෙන පරිගණක වෙනුවට නවීන පන්නයේ උපාoග ඇතුලත් පරිගණකයන් තිබෙනු දැකීමටයි.ඒ මීට වසර කිහිපයකට පෙර ඒ වයසේම අපේ රටේ ළමා පරපුර දුටු සිහින වලට වඩා වෙනස් මෙන්ම සoකීර්ණ වූවත් සිහන ලෙස යමෙකුට අර්ථ දැක්විය හැක.
නමුත් රටේ ඇතැම් කොනක මෙවැනි මෙවලම් පිළිබඳ කිසිත් නොදත් තවත් ළමා පිරිසක් අප රටේ ජීවත් වෙති.ඔවුහු දකින සිහින සරලයි ,සුන්දරයි.හිසට සෙවනක් පයට මිරිවැඩිසඟලක් පමනක් නොව කුසට අහරක්වත් නොම ඔවුන් සිහින දකින්නේ පොතක් පෑනක් පාට කූරු පෙට්ටියක් ලබා ගැනීමටයී.හිමිදිරි පාන්දර කඩුල්ල පැන දෙවැට දිගේ පාසැලට යන ඔවුන් සිහින දකින්නේ අව්වට වේලී වැස්සට තෙත බරිත වන පන්ති කාමර වෙනුවට පිළිසකර කළ පන්ති කාමරයක පුටු මේස සහිතව අකුරු කරන්නටයි.
ලස්සන වට පිටාවක ,අපහසුතාවයන්ගෙන් තොරව ඉගෙන ගන්න, ක්‍රීඩා කරන්න ,මෙවලම් සහිත වූ විද්‍යාගාර,පොත් පත් සුරක්ෂිත වූ පුස්තකාල පරිහරණය කරන්න  ඔවුන් දකින සිහින ,සිහින පමණැකින්ම වියැකී යා යුතුද?එවැනි වූ සිහින දකින අහින්සක පුoචි දරුවන් දාස් ගණනක් අප රටේ කොතෙකුත් ඉන්නවාද?
ඉතින් එවැනි වූ දරුවන් පිරිස් දුටු අපේ රටේ නොවුනත් ,මිනිස්කමින් අපිටම නෑකම් කියන ජුලියා ස්වෙන්ඩෝවා (Julia Svandova)ස්ලෝවැකියානු ජාතික තරුණියක්, ඇය අප රටට පැමිණි පසුව අප රටේ පිටිසර ගම් දනව් වල ඉන්න කුඩා දරුවන්ගේ හිත්වල ලියවිලා තියෙන අහින්සක සිහින වලට පණ දෙන්න ඇයට කළ හැකි යමක් ගැන සිතන්නේ අනුකම්පාව පෙරදැරිවම නෙවේ නමුත් ලෝකයේ කොතැනක හිටියත් පුoචි හිත්වලට දැනෙන හීන සුන්දර බැව් ඇය දත් නිසාවෙන්ම විය යුතුයි,ඉතින් ඒ සිතුවිල්ලේ ප්‍රථිපලයක් ලෙස ඇය නැවතත් තම මව් රටට ගිහින් පුoචි දරුවන් ගේ සිහින සැබෑ කරන්න අවශ්‍යය අඩිතාලම සකසන්න ඊට අවශ්‍යය මූල්‍යමය ප්‍රථිපාදන  රැස් කරනවා, ඇයට ඇගේ රටින් කොපමණ සහයක් ලැබුනත් ඒ සඳහා අපේ රටෙනුත් මග පෙන්වීමක් මෙන්ම සහයක් අවශ්‍යය වෙනවා ,ඉතින් එතනදි තමයි සමාජ සoවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර සහයෝගීතාව (INTERNATIONAL MOVEMENT FOR COMMUNITY DEVELOPMENT-IMCD) ඇයත් සමඟ අත් වැල් බැඳ ගන්නේ.මේ සියල්ලේ ප්‍රථිපලයක් ලෙස “මගේ සිහින පාසැල”(MY DREAM SCHOOL) ව්‍යාපෘතිය බිහි වෙනවා, මෙහි පරමාර්ථය වන්නේ පෙරකී අහින්සක දරුවන් දකින සිහින පාසැල ඔවුන් වෙනුවෙන් සැබෑවක් බවට පත් කර දීමයි, මූල්‍ය ප්‍රථිපාදන ජුලියා ස්වෙන්ඩෝවා (Julia Svandova)විදේශික සොයුරියගෙන් ලැබුනත් මෙහි සියලූම කටයුතු සූදානම් කිරීමේ තෙක් අවසානයේ ඔවුන්ගේ සිහින සැබෑවක්  බවට පත් වන තෙක් වූ සියළු කටයුතු මෙහයවීම හා ඉටු කිරීම සිදුවන්නේ IMCD අපේම සොයුරු සොයුරියන් අතින්.මෙහි පළමු පියවර ලෙසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයේ පිහිටි මහකනදරාව වම් ඉවුර යාය පාසල වෙත අවශ්‍යය පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එළැඹෙන නොවැම්බර් මාසයේ  7 වන දින මෙය සිදු කරන්න දැනටමත් අපේ පිරිස යුහුසුළුව කටයුතු කරන බව පවසන්නේ ඉමහත් ආඩම්බරයෙන්, ඉතින් එදිනට මහකනදරාව විදුහලේ පුoචි දරුවන්ගේ සිහන පාසැල සැබෑවක්ම බවට පත් වේවි.අවසානයේ තවත් එක් දෙයක් එකතු කිරීමට කැමැත්තෙමි, මෙලෙස ඇරඹෙන ඒ සoකල්පය ඉදිරියට ගෙන යාමේ වගකීම සතුවන්නේ ජූලියා සොයුරියටවත් ඇගේ හිත මිතුරන්ටවත් නොවනු ඇත, එය භාරවනුයේ මේ භූමියේ ඉපදී වැඩුනු මට හා ඔබටයි. ඉදිරියේදීත් අපි මෙසේ ඇරඹෙන සිහින පාසැල සoකල්පය තවත් එක් සිහිනයක් පමණක් නොවන්නට වග බලා ගනිමු.


රිද්මිකා ඉලoගසිoහ