Friday, September 6, 2013

ලොකු ලොකු කතා කියන්න මම මෙතැනට අලුත් වැඩියි කියලා දෙතුන් වතාවක්ම මට හිතුනත් ලිපියක් ලියන්න, ලියන්න කියලා දිගින් දිගටම සොඳුරු වදයක් දුන්න යාළුවො කීපදෙනා නිසා ඔන්න මම පටන් ගත්තා. ලියන්න පටන් ගත්තොත් විතරයි ලියවෙන්නෙ. හිත හිතා හිටියට විතරක් කවදාවත් ඉබේ ලියවෙන්නෙ නම් නෑ කියන එක මම දන්නෙ අත්දැකීමෙන්.

"අපි ආරම්භය කියන තැනම තමයි බොහෝවිට අවසානයත් තියෙන්නෙ. යමක් අවසන් කරන්න ඕනි නම් මුලින්ම ඒ දේ පටන් ගන්න ඕනි. අවසානය දක්වා යන ගමන පටන් ගන්නෙ ආරම්භයත් එක්කමයි." එහෙම කියලා තියෙන්නෙ ටී. එස්. එලියට්. 1948 අවුරුද්දෙදි සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානය දිනා ගත්තෙ ඔහු තමයි.
IMCD කියන්නෙ අන්න එහෙම වරු ගණන් හිත හිතා ඉන්නෙ නැතුව වැඩ පටන් ගන්න, පටන් ගත්ත වැඩේ අවසානයක් දකින කල් කැපවීමෙන් මහන්සි වෙන කොල්ලො කෙල්ලො ටිකකගෙ එකතුවක්. හරියටම හරිද දන්නෙ නෑ මම ඒ කියාපු දේ.  :)  ඒත් මට දැනුනෙ එහෙමයි.

මම මේ පිරිසට සම්බන්ධ වෙලා තවම මහ කාලයක් නෑ. හරියටම සති තුනයි. මගේ චූටි කාලෙ හොඳම යාළුවෙක් වුණ තාමත් වෙනසක් නැතුව මගෙත් එක්ක එදා වගෙම ළඟින් ඉන්න Yasho තමයි මාව මෙතැනට හඳුන්වලා දුන්නෙ. අන්න එහෙම තමයි හොඳ යාළුවො වුණාම. ඔන්න ඉතින් එයා කිව්වත් වගේ application එකක් එහෙම පුරවලා මමත් ස්වේච්ඡා සාමාජිකයෙක් විදිහට මේ සංවිධානයට සම්බන්ධ වුණා. ඒත් විභාගෙ සහ තවත් දහසකුත් එක්ක දේවල් නිසා එතැනටම  ගිහින් මේ පිරිස දැන අඳුනා ගන්න එක දවසින් දවස කල් ගියා.

අන්තිමේදි ඔන්න මම දැක්කා අලුත් event එකක් තියෙනවා කියලා එයාලගෙ Facebook group එකේ දාලා තියෙනවා. මම Blog එක ලියන සම්බන්ධ වෙන්න කැමතියි කිව්ව හැටියෙම නාඬියා (හෙවත් හරිත) මට කිව්වා ඒකට ඇවිත් කට්ටියව දැන අඳුන ගන්න කියලා. ඉතින් මම Yashoටත් කතා කරලා එනවා කියලා වැඩසටහන තියෙනවා කියලා සඳහන් වුණ මහරගම Youth Center එකට එනකොට උදේ 7.30යි. එදා අගෝස්තු 18 වැනි ඉරිදා. උදේ 8ට එන්න කියලා තිබුණ නිසාත් පළවෙනිම දවස නිසාත් තමයි කල් තියාම ගෙදරින් ආවෙ. කෝ ඒත් කවුරුවත්ම පේන්න නෑ. මගෙ යාළුවත් එන පාටක් පේන්න නෑ. මම එහෙ මෙහෙ ඇවිද ඇවිද බලන අතරෙ තමයි ඈතින් එන පිරිමි ළමයි දෙන්නෙක්ව දැක්කෙ. එක ළමයෙක් ඇඳලා හිටියෙ Needy Readers කියලා සටහන් කරපු ටී - ෂර්ට් එකක්. මම දුවලා ගිහින් එයාලත් එක්ක කතා කළා. ඒ චේතක අයියා සහ අනූප. ඔන්න එයාලත් එක්ක තමයි මුලින්ම මම IMCD එකට හා පුරා කියලා ගොඩ වැදුනෙ.

එදා Color A Dream (CAD) ව්‍යාපෘතියෙ පළවෙනි දවස. ගිය ගමන්ම මට හම්බ වුණා වැඩක්... ඒ වැඩසටහන තිබුණ ශාලාව සරසන්න බිත්තියෙ අලවන්න පාට කොළ වලින් මල් කපන එක. අලුතින් ආව ළමයෙක් කියලා කිසිම වෙනසක් තිබුණෙ නෑ එතන හිටපු කාටවත්. හැම කෙනෙක්ම ඇවිත් බොහොම සුහදව කතා බහ කළා. ඒ හැම කෙනෙක්ම මගෙ යාළුවෙක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. වැඩ කරන ගමන් එකිනෙකාට කරන විහිළු තහළු , මඩ ප්‍රහාර වලත් අඩුවත් නම් තිබුණෙ නෑ.

ඔන්න ඔය විදිහට මාත් මේ Needy Readers කියන ආදරණීය පවුලෙ සාමාජිකයෙක් වුණා. Needy Readers කියන්නෙ IMCD එකෙන් මුලින්ම පටන් ගත්ත ව්‍යාපෘතිය. අලුතින් එන අපි හැමෝම වගේ මුලින්ම සම්බන්ධ කරගන්නෙ මේ ව්‍යාපෘතියට.

සතිය පුරාම campus ජීවිතේට හිර වෙලා ඉන්න මම යන්තම් ගෙදර යන්නෙ සෙනසුරාදා හවස 1.30 වෙනකල් තියෙන දේශනයත් ඉවර වෙලා. ඊළඟට IMCD රැස්වීමට යන්න ඕනි නිසා දැන් ඉරිදා උදෙන්ම ගෙදරින් ආපහු කොළඹ එන එක දැන් පුරුද්දක් වෙලා. ගෙදර ඉන්න තියෙන එකම දවසත් ඉන්නෙ නැති එක ගැන අම්මා දාන වලි යන්තම් ශේප් කරගෙන මෙතනට එන්නෙ සතියෙම මහන්සිය මෙතෙන්ට ආවම නැතුව යන නිසා. කවදාවත් රැස්වීම ඉවර වෙනවයි කියලා කියාපු වෙලාවට ආපහු යන්න නම් තාමත් පුළුවන් වුණේ නෑ. මොකද මේ හැමෝටම මෙතන ගෙදර වගේ නිසා ගෙදර යන්න තරම් සිහියක් නෑ මෙතෙනට ආවම. ලොකු වැඩ සැලසුම් කරන්නෙ හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් ....

ඇත්තෙන්ම මේක අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා ගොඩාක් එකට ඉන්න සහෝදරත්වයෙන් බැඳුනු එකම පවුලක්. එයාලගෙ එකතුවට කරන්න බැරි දෙයක් නැති තරම්. මට දැනුනෙ ඔන්න ඔහොමයි. .....

Sunday, September 1, 2013

අපි කවුරුද?



සුරඟන කතාවක රාස්සයෙකුගේ ගෙයක් ලඟ, වීර චාරිකාවක කුමරියකගේ නෙතක් ලඟ,ෂර්ලොක් හෝම්ස් එක්ක අපරාධකාරයෙක්ගේ ඉවක් ලඟ දැවටි දැවටි ගෙවුන ඒ කාලය කෙතරම් සොඳුරුද...  ඒ චරිත තුලින් ලොව දුටු,සමාජය හා සංස්කෘතිය විනිවිද දුටු,මිනිසාගේ සිතිවිලි දනව්වේ ඉමක් නුදුටු ඒ දෙනෝදාහක් අතරට එක් වන්නට පෙරුම් පුරන සිත් මල් පොඩිති පුබුදන්නට වෙර දරන අපි International Movement for Community Development (IMCD) ආයතනයේ Needy Readers ව්‍යාපෘතියයි. 
2012 වසරේ Youth Fest වැඩසටහනට සහභාගී වුනු සමාජය තුලින් ගොඩනැගුනු සමාජයේ ඉහල තැන් වල සිටින කිහිප දෙනෙක්,තමාව බිහිකල ඒ සමාජය වඩාත් ඉහල තලයකට ගෙන ඒම උදෙසා IMCD ආයතනය බිහි කලා. Needy Readers එහි පළමු ව්‍යාපෘතියයි.  ඉගිලෙන්නට ආස සිත් මල් වලට තටු දෙන්න, කියවන්න ආස කෙනෙක්ට පොතක් දෙන්න ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය දළු ලා වැඩුනේ සිතුවාටත් වඩා ඉක්මනින්! මේ සත් කාර්යයට දසතින් උදව් උපකාර ගලා ආවා. පොත් 1500ක් පමණ එකතු කර බෙදාදීම මූලික ඉලක්කය වූවත් අවසානයේ එක් වූ පොත් සංඛ්‍යාව 10000 ඉක්මවා ගියා!

ඒ පොත් නතර උනේ හිස් වෙලා තිබ්බ පුස්තකාල පොත් රාක්ක ගණනාවක් ලස්සන කරමින්. ඉස්කෝල විතරක් නෙමෙයි. සංස්කෘතික මධ්‍යස්ථාන, බන්ධනාගාර පවා දැනුමෙන් විනෝදයෙන් පුරවන්න අපි දායක උනා.

2012 වසරේ Needy Readers ව්‍යාපෘතිය නිම උනේ ඒ ආකාර වූ සාර්ථකත්වයක් අයත් කරගෙන. Needy Readers 2013 ආරම්භ උනේ ඒ ගැම්ම දෙගුණ තෙගුණ කරමින්. ස්වෙච්ච්චාවෙන් දුසිම් ගනන් ඒ සමඟ එකතු උනා. නව අදහස් දෝරෙ ගලා ගියා.

පොතක් කියවන්න ආස උනත් කියවන්න පොත් නැති දාස් ගානක් නෙත් වලට සතුටු කඳුලක් එක් කරමින් නගර ගම් දනවු සිසාරා හමා යන්නා වූ Needy Readers මඳ නලය කියවීම නිසා සම්පුර්ණ වූ මිනිසුන් දහසක් මැද චිරාත් කාලයක් වැජඹේවී.

Saturday, August 24, 2013

මාවතේ මතක සටහන්....



අපිට අපේ ජීවිත කාලේදී එක එක ආකාරයේ පුද්ගලයෝ මුණගැහෙනවා.ඒ හැම කෙනෙකුගේම ජීවිතවල අපිට ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා.
කැම්පස් එකේදී මුණගැහුණු , මට ජීවිතේ ගැන පාඩම් ගොඩක් කියලා දුන්නු එක්තරා වීරවරයෙක් ගැනයි මේ කතන්දරේ...

විශ්ව විද්‍යාලේ එකේ අපිත් එක්ක දමිල ළමයි ගොඩ දෙනෙක් ඉගෙනගන්නවා.සුරේෂ් කියන්නේ ඒ වගේ, අපේම විශ්ව විද්‍යාලේ අපේ දෙපාර්තමේන්තුවේ ඉගෙන ගන්න දමිල ළමයෙක්.කැම්පස් එකේ ගොඩක් අය නොදන්නවා වුනාට සුරේෂ් මේ තරම් දුරට ඉගෙනගෙන තියෙන්නේ බොහොම  මහන්සියෙන් කරදර ගොඩක් ඉවසා දරාගෙන. ඒ කතාව මම දැනගත්තේ අහම්බෙන්...මීට දින කිහිපෙකට කලින් ඉන්ටවල් එකේ දී කැන්ටින් එකෙන් ගත්තු ප්ලේන් ටී එකක් තොලගාන ගමන් මම අහපු අරුම පුදුම කතාවේ සාරාංශය තමයි අද මම මේ කියන්න යන්නේ...

සුරේෂ් ඉපදිලා තියෙන්නේ මුලතිව් මහා කැලේට මායිම් වෙලා තිබුණු පොඩි ගම්මානෙක .සුරේෂ් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් මුලතිව්.පොඩි කාලේ ඉඳන්ම ඉගෙනීමට අසාමාන්‍ය දක්ෂතාවයක් තිබුනත් , එයාලට ඉගෙනගන්න මහා ලොකු පහසුකම් තිබිලා නැහැ.එයාගේ අම්මයි තාත්තයි , සුරේෂ්ගේ පවුලේ 3 දෙනෙක්ව නඩත්තු කලේ ගොවිතැන් කරලා හම්බකරපු සොච්චම් මුදලින්.පවුලේ වැඩිමලා වුනු අයියා වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ.තමන්ගේ පවුලේ බර කරට අරගෙන නඩත්තු කරන්න දෙමවුපියෝ මහන්සි වෙනවා දැක්ක අයියා එයාගේ ඉස්කෝලේ ගමන අවුරුදු 14ක් වෙද්දී නවත්තනවා , එතකොට සුරේෂ් ගේ වයස 7යි.මුලතිව් ඉඳන් වවුනියා වලට බඩු අරගෙන යන ලොරියක වැඩට යන්න සුරේෂ්ගේ අයියා තීරණය කරනවා.අකමැත්තෙන් වුනත් අම්මයි තාත්තයි එයාට ඉඩ දෙනවා මොකද ළමයි 3 දෙනෙක් එක්ක ජීවත් වෙන්න , ගොවිතැනින් හම්බවුනු ආදායම කොහෙත්ම නොසෑහුනු නිසා... 

පොඩි කාලේ ඉඳන්ම සුරේෂ්ගේ අයියට පොත් කියවන පුරුද්දක් තිබුනා.අතට අහුවෙන ඕනිම පොතක් විතරක් නෙවෙයි , පොඩි පත්තර කෑල්ලක් වුනත් අහක නොදා කියවන්න එය පුරුදු වෙලා හිටියා. සුරේෂ් කියන විදියට සුරේෂ්ට පොත් කියවන්න පුරුදු කලෙත් අයියා. ඉස්කෝලේ ගමන අත් හැරියත් , පොත්පත් කියවන පුරුද්ද අතාරින්න නම් අයියා කැමති වෙලා නැහැ. එයා හැම සතියකම වවුනියා ගිහින් එද්දී මොකක්හරි පොතක් අරන් එන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ කවුරුවත් වෙනුවෙන් නෙවෙයි, අයියටත් වඩා පොත් වලට ආදරේ කරපු සුරේෂ් වෙනුවෙන්. ඉතින් මේ විදියට අයියා ගෙනත් දීපු පොත්පත් වලින් සුරේෂ් තව තවත් ඉගෙන ගන්න නැඹුරු වුනා. විෂය කරුණු විතරක් නෙවෙයි,මුළු ලෝකෙම ගැන හොඳ පරිපුර්ණ දැනුමක් එකතුකරගන්න සුරෙෂ්ට පුළුවන් වුනේ අයියා නිසා කියලයි අදටත් සුරේෂ් කියන්නේ... ඉතින් ඔය විදියට පවුලේ තත්වේ ටිකෙන් ටික යහපත් වේගෙන එනකොට කවුරුත් නොහිතපු විදියේ අකරතැබ්බයක්  සුරේෂ්ලට වෙනවා... ඒ අවුරුද්ද දරුණුවටම යුද්ධේ කෙරුණු අවුරුද්දක්... LTTE එකට වගේම රජයේ හමුදාවටත් බරපතල හානි සිද්ධවුණු කාලයක්.කිසිම කෙනෙක් හිතුවේ නැති වෙලාවක සුරේෂ්ලාගේ ගෙදරට LTTE එකෙන් පනිනවා.. LTTE  එකෙන් සුරේෂ්ගේ අයියව  බලහත්කාරෙන් පැහැරගෙන යනවා.LTTE එක යුද්ධෙට යවන්න අවසාන කාලේ සොල්දාදුවෝ එකතු කලේ ඒ විදියටලු..මේ සිද්ධිය වෙන වෙලාවේ සුරේෂ්ගේ අම්මා සුරේෂ්වයි එයාගේ නංගිවයි අරගෙන මහ කැලේට පැනලා හැන්ගෙනවා..සුරේෂ්ට මොනවද මේ වෙන්නේ කියල හිතන්නවත් වෙලාවක් තිබුනේ නැහැ...අයියව පැහැරගෙන යන්න හදනකොට ඒකට විරුද්ධ වුන තාත්තාට සිද්ධ වුනේ වෙඩි කාලා එතනම මැරෙන්න...

මේ විදියට ජීවිතේ කවමදාවත් නැති තරමට සුරේෂ් එයාගේ අම්මයි නංගියි එක්ක තනිවෙනවා... ඒ 2008 අවුරුද්ද... සුරේෂ් උසස්පෙළ ලියන්න හිටපු අවුරුද්ද...විභාගේ ගැන සුරෙෂ්ට ලොකු බලාපොරොත්තු තිබුනා.ඒත් ඒ හැමදෙයක්ම මේ කාලකන්නි යුද්ධේ ඉස්සරහ බොඳවෙලා යන හීන බවට පත්වෙමිනුයි තිබුනේ.යුද්ධේ තිබුණු දරුණුකම නිසාම 2008 දී උසස්පෙළ කරන්න සුරෙෂ්ට බැරි වෙනවා.උසස්පෙළ ගැන තිබුණු හීන බොඳවෙලා යද්දී , ජීවිතේ බේරගන්න මාස ගානක් තිස්සේ කැලේට වෙලා හැංගිලා ඉන්නයි සුරෙෂ්ලට සිද්ධ වෙන්නේ... අන්තිමට රජයේ හමුදාව මුලතිව් වල හිටපු සුරෙශ්ලාව බේරගනිද්දී  2009 අවුරුද්දත් පටන් අරගෙන ඉවරයි.. තාත්තයි , අයියයි සදහටම නැතිවුණු පවුලක බර කරට අරගෙන , නංගිවයි අම්මවයි ජීවත් කරවන්න සුරේෂ් තමන්ගේ අයියා ගත්තු තීරනෙම ගන්න සුදානම් වෙද්දී , සුරේෂ්ගේ අම්මා ඒකට ඉඩ දෙන්නේ නැහැ... පලවෙනි පාර විභාගේ කරන්න බැරිවුණු නිසා,මේ පාර කොහොමහරි විභාගේ කරගන්න කියන පන්නරය සුරෙෂ්ට හම්බවෙන්නේ එයාගේ ආදරණීය අම්මගෙන්...

“මම කොහොමහරි උඹලට කන්න බොන්න දෙන්නම් පුතේ..උඹ හොඳට ඉගෙන ගනින්...”

හැම අම්ම කෙනෙක් වගේම සුරේෂ්ගේ අම්මගේ එකම බලාපොරොත්තුව වුනේ තමන්ගේ පුතා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එනවා දකින්නයි...එත් සුරේෂ්ට යන්න පන්ති තිබුනේ නැහැ, සුරේෂ් ආසාවෙන් ඉගෙනගන්න ගිය ඉස්කෝලේ,ඒ වෙනකොට සරණාගත කඳවුරක් වෙලා තිබුනා...ඒත් වාසනාවකට සුරේෂ් තමන්ගේ ජීවිතේටත් වඩා ආදරෙන් පරිස්සම් කරපු පොත් ටික එයාගේ පිහිටට එනවා...2008 උසස්පෙළ කරපු යාපනේ මිතුරෙකුගෙන් සුරෙෂ්ට ඕන වෙලා තිබුන,මග හැරුණු උසස් පෙළ සටහන් පොතුත් හම්බවෙනවා… සුරේෂ් මහන්සිවෙලා පාඩම් කරන්නේ තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි,සුරෙෂ්ට නැතිවුණු තාත්තගෙයි , අයියගෙයි එකම ආසාව ඉෂ්ට කරන්න වගේම අම්මයි නංගියි වෙනුවෙන් ලොකු වගකීමක් තියෙන බව දන්නා නිසා...  
රෑ , දවල් වෙනසක් නැතුව ටකරන් වලින් වටකරපු තාවකාලික මඩුවක ඉඳන් පාඩම් කරපු සුරේෂ් , 2009 උසස් පෙළ ලියන්න ඉදිරිපත් වෙනවා... ජීවිතේ මහා පෙරලියක් වෙන බව සුරේෂ් දැනගෙන ඉන්න නැතුව ඇති,ඒත් සුරේෂ් උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙන් පළමු වැනි ස්ථානේ අරගෙනයි...

සුරේෂ් දැන් දෙවෙනි වසරේ සරසවි සිසුවෙක්.. තවත් අවුරුදු දෙකකින් එයා රටටම සේවය කරන මහා උගතෙක්...එයාගේ අම්මයි නංගියි වෙනුවෙන් හැම සතියකම අමතර පන්ති කරලා සල්ලි යවන්න සුරේෂ් අමතක කරන්නේ නැහැ... 

අමතර පන්ති නොයා, හරියට ඉස්කෝලෙවත්වත් යන්න විදියක් නැතුව, දුක් මහන්සියෙන් පොත පත කියවලා සරසවි වරම් ලබපු සුරේෂ් ඇත්තටම අපේ කාලයේ වීරයෙක්... 

මෙච්චර වෙලා මම කිව්වේ, ඔයාලා කියෙව්වේ, සුරංගනා කතාවක් නෙවෙයි.. නම ගම ටිකක් වෙනස් වුනත්,හැබැහින්ම අහන්නට ලැබුණු,අපි වගේම හුස්මගන්න,පොලවේ පය ගහලා ජීවත් වෙන තවත් එක මනුස්ස ආත්මෙක ඇතුලාන්තයක්...
සුරේෂ් මට එයාගේ කතාව ඉවර කරලා, අන්තිමට කියපු දෙයක් මතකයි, “මට කියවලා ඉගෙන ගන්න හරි පොත පත තිබුනා, ඒත් තවත් ගොඩක් දෙනෙකුට එහෙම කියවලා ඉගෙන ගන්න පොතක්වත් තිබුනේ නැහැ!ඒ සමහරු අදටත් දුක්වෙනවා ඉගෙනගන්න ආසාවක් තිබිලත්, ඉගෙන ගන්න අවස්ථාවක් නොතිබුණු එක ගැන...” 

කියවන්නට අවැසි , ඉගෙනීමට ආස කරන ළමයි සහසකුත් මේ රටේ හැම තැනකම ඇති... ඒත් සුරේෂ් කියනවා වගේ ඒ හැම දෙනෙක්ටම වාසනාවක් නැහැ … මොහොතක් හිතලා බලන්න... අපි කීදෙනෙක් පොත් කොච්චර නිකරුනේ ගොඩ ගහගෙන ඉන්නවද? එක පාරක් කියවපු පොත් කොච්චරක්නම් අපි තියාගෙන ඉන්නවද ආයෙමත් කිසිම දවසක නොකියවා?

ඒ වගේ පොත් සුරේෂ්ලා වගේ තවත් ඉගෙන ගන්න කැමති අහිංසක ළමයින් වෙනුවෙන් දෙන්න පුලුවන්නම් ඒක ලොකු උදව්වක් වෙනවා නේද?



"පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!" [DONATE A BOOK, LIGHT A FUTURE!] කියන තේමාව සහිතව , පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන "NEEDY READERS" සංසදය හරහා කෙරෙන්නේ පෙරකී අවශ්‍යතා සහිත දරුවන් උදෙසා පොත් පත්, "ඇති", "හැකි" අයගෙන් එකතුකොට බෙදාදීමයි..

මෙතනදී "ඇති", "හැකි" කියලා සඳහන් වෙන්නේ , තමන් පාවිච්චි කරපු ,වරක් කියවපු , ඒත් තවදුරටත් ඒ පොත් භාවිතා නොකර තබාගෙන ඉන්න උදවියයි...

ඉතින් ඔයාලටත් හිතෙනවා නම් , සුරේෂ් වගේ අහිංසක දරුවන්ගේ , අනාගතයක්ම ආලෝක කරන්නට , සුළු වශයෙන් හරි ආධාරයක් , උපකාරයක් කරන්නට අවශ්‍යයි කියලා ; එන්න! අත්වැල් බැඳගන්න අපිත් එක්ක... ඔබ පරිත්‍යාග කරන එක පොතක් , ජීවිත ගණනාවක් වෙනස් කරන්නට උදව්වක් වේවි!

"පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!"

Tuesday, August 20, 2013

හෝන් සද්දේ පාර දිගට දූවිල්ලෙන් දුමින් පිරිච්ච වාහන මැදින්  මං පදික වේදිකාවක් නැත්නම් ඉඩ තියන ඔනේ තැනකින් වෙට්ටු දදා ඉස්ටේසමට දුවන්නේ ගෙදර යන්න කෝච්චිය අල්ලගන්න,නැත්නම් ස්ටෑන්ඩ් එකට බස් එකක් අල්ල ගෙන සීට් එකකුත් තියේනම් ඉඳන් යන්න,උදේ රැයින් ඇහරල සමහර දවසකට ප්‍රබෝධයෙන් එත් සමහර දවස්වල මේ මොන කරුමයක්ද කියන හැඟිමෙන් ගෙදරින් එන්නෙ සමහරක් අපි ඉගෙන ගන්න,තවත් සමහරක් රස්සාවට යන්න,ඔය මොකට ආවත් හවස් වෙද්දි තැලුනු පොඩි වුන සිතුවිලි ගොන්නක් එක්ක ගෙදර යන්න පියාඹන්නේ ගත සිත පෙළුනු ඒ විඩාව නිවාගන්න. ඒ නැතැත් නිවාඩුවක් නොවන හෙට දිනයේ ආයෙමත් මේ යුද්දය පටන් ගන්න හිතට ගතට පන්නරයක් ගන්න. මේ ජිවන චක්‍රය මට මෙන්ම නුඹටත් අඩු වැඩි ලෙස හුරු පුරුදු ඇති.

ඔබ මොහොතකට සිතුවාද මෙය කියවන ඔබට,මට පොදු වූ කරුණු කිහිපයක් මෙහි ඇති බව,එනම් ඔබට මට හිසට වහලක් ඇත,ඉගෙන ගැනීමට අවස්ථාවක් ඇතුවා මෙන්ම යම්කිසි වූ දැනුමකින් හා බුද්ධියකින් පරිපූර්ණ බව?

නමුත් මේ වෙහෙසකර ජීවිතයේ කාලයත් සමඟින් අප කරනා මේ සටන අතරතුර,මෙලෙස හැල්මේ දුවන අතරතුර,නුඹ මොහොතකට නැවතී බැලුවාද නුඹ යනෙන අතරමග නුඹට මෙන් මට මෙන් හිසට වහලක් පයට රබර් සෙරෙප්පුවක් වත් නොමැති වූ පිරිසක් අනුන් අයදින යුරු?? ඒ අතර නුඹ මෙන් මම මෙන් පාසැලකට වැස්සකටවත් ගොඩ වීමට නොහැකි වූ පු0චි උන් කී දාහක් ඇතමුන්ගේ අතකුලු බවට පත් වී ජිවිතය ජිවත්කර වීමට වයසටවත් නොගැළපෙන බරක් උසුලනයුරු??තවත් විටක දුටුවාද උන් ගයන අපූරුව මහ මග බෙලෙක් ටින් කැටය රුපියලෙන් රුපියල පිරෙනතුරු??ඇතැම් විට පියවරු,වැඩිමල් වුවත් කර දඬු මහත් නොවූ සහෝදරයින් තම දූ පුතුන් ,බාල සොයුරු සොයුරියන් වෙනුවෙන් ,උන් ඉල්ලා අඬන පොත පැන්සල මිලට ගන්න,උන් කුස ගින්නේ නොතියන්න දුක් විඳිනයුරු??

ඔව් ඔබ දැන් සිතාවි මේ සියල්ල අප ඇස් පනාපිට දකින්නට වූ සුලබ දසුන් බව,ඇත්තෙන්ම එය එසේමයි.මෙලෙස ඔබ මම සහ ඔවුන් අපි සියල්ලන්ම මිනිසුන් වුවත් සැප සහ දුක යන අන්තයන් මැද දෝලනය වන අපේ ජිවිත මෙලෙසින් විවිධ වන්නේ කෙලෙසදැයි ඔබ සිතනවා ඇති.කුඩා උන් මහ මගට වැටෙන්නේ කාගේ වරදින්ද?? කොතැනක හෝ කිසියම් දෙයක් වැරදී ඇති වුවත් ඒ පු0චි උන්ගේ වරදකින් නම් නොවනු ඇත.වරද කාගේ වුවත් ඒ පිළිබඳ ලුහු බැඳ කාලය කා දමනු නොව ඔවුනට නිතැතින්ම පිලිසරණක් වන්නට අපිට හැකි නම්?



එවන් සිතුවිල්ලක ප්‍රතිපලයක් ලෙසින් අපි තරුණ පිරිසක් එකතුවී අපිට හැකි අයුරින් ඔවුන් වැන්නවුන්ට උපකාරයක් කිරීමට එවැනි තෙත් සිත් ඇති ඔබට ඔවුන් වෙනුවෙන් උපකාර කිරීමට අවස්ථාවක් සැලසීමට ඇරමඹූ සමාජ සත්කාරයකි IMCD ආයතනය වන අපි විසින් දියත් කරනු ලබන මේ Needy Readers ව්‍යාපෘතිය.
අපි එකතු කරන්නෙමු පොත් අපිට හැකි පමනින්,ලබා දෙන්නට ඒ සොඳුරු වූ දරුවන්ට ඉගෙන ගන්නට පිහිට වන්නට,අලුත් පොත්ම නොව ඔබ ළඟැති පරණ වූ කියවා අවසන් කළ ,කලෙක ඔබ ප්‍රයෝජනයට ගත් ඒ පොත පත ඔබට හැකි නම් අපට ලබා දෙන්න.අපි ඔවුන් සොයා ගොස් පොත් ඇවැසි අය වෙත ඔවුනට අදාල පොත්ම ලබා දෙන්නට කටයුතු කරන්නෙමු.ඔබ අපට පරිත්‍යාග කරනා කිසිදු පොතක් අපතේ නොයනු ඇත,එන්න අප හා එක්වන්න.පොතක් පිරිනමා ජිවිතයක් එලිය කිරීමට දායක වන්න, හැකිවනු ඇත ඔබට විඳගන්න ඉන් මිල කල නොහැකි වූ ආත්ම තෘප්තියක් නිතැතින්ම.




Sunday, March 3, 2013

මිතුදමේ පොතක්.....

අකුරු ගලපා
වචනයෙන් වචනයට
පුංචි සිත් සතුටුකර
සිඟිති හසරැළි ගෙනෙන්නට
එකතු වෙමු පොත්ගුලට
මිතුදමේ පොතක් ලෙස......

"පොතක් පරිත්‍යාග කරමු, අනාගතයක්ම එලිය කරමු!"