එක තත්පරයකින් මුළු
ලෝකෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එක තීරණේකින් අපේ මුළු ජිවිතයම වෙනස් වෙන්න
පුළුවන්.
ඒ 2012 අවුරුද්ද. මගේ
ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඔව්.. හුස්ම ගන්න, නාඩි වැටෙන විදිහ පවා වෙනස්
උනා.
2012 අගෝස්තු මාසෙදි YouthFest Sri Lanka conference එකේදී මට හම්බ වෙනවා
අපූරු මනුස්සයෙක්. ඒ උපුල් සේනානායක. ඔහු මට කියනවා ලංකාවේ දුෂ්කර පළාත් වල තියෙන
පාසල් වලට කියවීම් පොත් බෙදා දීමේ ව්‍යාපෘතියක් ගැන. මම අහගෙන ඉන්නවා. කොහොමත්
පොත් ගුල්ලෙක් වෙච්චි මට ඒ කතාව අල්ලලා යනවා. මේ වැඩේට සපෝට් එකක් දෙන්න ඕනේ කියලා
හිතාගෙන මම Needy Readers ව්‍යාපෘතියට සම්බන්ධ
වෙනවා.
අපේ යාලුවන්ගෙන්,
නෑදෑයන්ගෙන්, දන්නා කියන අයගෙන් කියවන පොත් එකතු කරගෙන අවශ්‍යතා ඇති දුර පළාත් වල
පාසල්, සංස්කෘතික මධ්‍යාස්ථාන, පුස්තකාල හොයාගෙන ගිහිං බෙදලා දෙද්දී මට මතක්
වෙන්නේ ඒ දවස් වල අපිට අලුත් පොතක් ලැබුනහම ඒ සුවඳ විඳ විඳ අපි හිනා උණු හැටි.
පොත් ලැබිලා හරිම අහිංසක විදිහට හිනා වෙන පුංචි උන් හැමදාම අපේ ජිවිතේ අලුත් කළා.
තුන්නාන ශ්‍රී සුමනජෝති
විද්‍යාලයෙන් අපි පටන් ගත්ත Needy
Readers ව්‍යාපෘතිය, ත්‍රිකුණාමලය,
මන්නාරම, රත්නපුර, පන්නල, කඩුගන්නාව, පානම වගේ ලංකාව වටේ පළාත් විශාල ප්‍රමාණයකට අපි පොත්
අරගෙන ගියා. හිස් වෙච්චි පුස්තකාල වල පොත් රාක්ක අපි ඔයගොල්ලෝ දුන්නු පොත් වලින්
පිරෙව්වා.
My Dream School, පුංචි උන් සිහින මවන
සිහින පාසලේ සිහිනය යන්තමින් හරි සැබෑවක් කරන්න අපි උත්සාහ ගත්තා. මුල්ම My Dream School ව්‍යාපෘතිය දියත් උනේ අනුරාධපුර, මහකනදරාව යාය 1 විද්‍යාලයේ.
යුගොස්ලොඉවියානු ජාතික ජූලියා ගේ උදව් ඇතිව අපි ඒ පුංචි උන් හොයාගෙන ගියේ අත බර
වෙන්න තෑගී බෝග අරගෙන. මට තාම මතකයි ඒ තෑගී අරං පුංචි උන් හරිම සතුටින් අපි හදපු
වොලිබෝල් පිට්ටනියේ අපිත් එක්ක වොලිබෝල් ගහපු හැටි...
ශ්‍රී ලංකාව වටේ විවිධ
පාසල් වලට යද්දී අපි දැක්ක දෙයක් තමයි අවශ්‍යතා තියෙන දූ දරුවෝ බොහොමයක් ඉන්නවා
කියන එක. ඒ අයට පුංචි ගෝ සහනයක් දෙන්න IMCD, Color A Dream ව්‍යාපෘතිය නිර්මාණය
වෙනවා. මේ වෙනකොට අපි පුංචි මල් කැකුළු බොහොමයකගේ ජිවිතේට පාට දුන්නා කියලා මතක් වෙද්දී
හිතට එන්නේ නිරාමිස සතුටක්.
පහ වසර ශිෂ්‍යත්වයට
උදව්වක් අරමුණු කරගෙන පටන් ගත්ත Path
to Wisdom ව්‍යාපෘතිය අද වෙනකොට වඩාත්
සංවිධානාත්මක විදිහට විවිධ සම්මන්ත්‍රණ කරගෙන යනවා ලංකාව පුරාම..
Amuzed!!!! හිනා වෙන්න කැමති අහිංසක
මුහුණු වලට හිනාවක් අරගෙන යන්න නිර්මාණය වෙච්චි මේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ
කෑගල්ල, බල්ලපාන ඕලන්ද වත්ත අරසරණ සරණ නිවාසයෙන්, ඊට පස්සේ කළුතර මාක් ශ්‍රී
නිවාසයටත්, අඹේපුස්ස බෝතලේ “අපේ ළමයි” විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලටත් IMCD අපි ගියා.
ඒ අයත් එක්ක හිනා උනා.
සෙල්ලම් කළා. නැටුවා, සින්දු කිව්වා. දවසකට හරි අපි ආයේ ළමයින් උනා. හරිම සතුටක්
දැනෙන්නේ දවසින් දවස අපිත් එක්ක එකතු වෙන පිරිස වැඩි වෙනවා දැක්කහම.
මේ ඔක්කොම පටන් අරගෙන තව
අවුරුදු දෙකයි. හැබැයි ආපහු හැරිලා
බලනකොට අපිටත් හොරෙන් අපේ ඇස් තෙත් වෙන්නේ සතුටු කඳුළු වල උණුසුමට.
මිනිස්සු ජිවත් වෙනවා
කියන්නේ හුස්ම ගන්න එකට විතරක් නෙවෙයි. ජිවත් වෙනවා කියන්නේ තවත් කෙනෙක්ට ජිවත්
වෙන්න උදව් කරන එකටයි.
මම ජිවත් වෙනවා.. ඔබ?
0 comments:
Post a Comment