Saturday, May 24, 2014

පිපෙන්නට වෙර දරන මල් කැකුළු සිත්වල සිහින සුන්දරයි, නමුත් ඒ හැම සිහිනයක්ම සැබෑ කරගන්න නොහැකි වන පුoචි මල් කැකුළු අපේ සමාජයේ එමටයි.
ඉතින් ඔවුන්ගේ ඒ සිහින සැබෑ කරගන්න අපට යමක් කළ හැකිනම්? එවන් වූ අධිෂ්ඨානයක් පෙරදැරිව IMCD අපි ඇරඹූ තෙවන ව්‍යාපෘතියයි කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM).

 එමඟින් අපේ රටේ ඉගෙන ගන්න දක්ෂතා ඇති අනාගතයේ වෛද්‍යවරු, ඉන්ජිනේරුවන් එහෙමත් නැත්නම් සoගීතඥයින් වෙන්න සිහින දකින නමුත් ඒ සිහින සැබෑ කරගන්න අවශ්‍යතාවන් ඉටු කරගන්න තම දෙමාපියන්ට එතරම් වත් පොහොසත්කමක් නැති කුඩා මල් කැකුළු සොයාගෙන අපි යනවා.  

ඒ අතර අපි ඔවුන්ට අත හිත දෙන්න කැමැති පරිත්‍යාගශීලීන් පිරිස් සොයා යෑමත් සිදු කරනවා, ඔවුන් ඉදිරිපත් වන අන්දමට පුoචි දරුවන්ට ඇවැසි අධ්‍යාපන, ක්‍රීඩා උපකරණ වැනි දෑ ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු නිමා වන තුරු ශිෂ්‍යත්වයක් ලෙසින් ප්‍රදානය කරන්නට ඒ ඒ එක් එක් දරුවෙකු වෙනුවෙන් එක් පරිත්‍යාගශීලි මහතෙකු හෝ මහත්මියක කැපකරුවෙකු ලෙසින් පත් කරන්නට අප කටයුතු සිදු කරනවා.

මෙහිදී දරුවාගේ පෞරුෂයට හා ආත්මාභිමානයට හානියක් නොවන අන්දමිනුත් ,කැපකරුවන් ලෙස ඉදිරිපත්වන පරිත්‍යාගශීලීන්ගේ පෞද්ගලිකත්වයට බධාවක් නොවන අන්දමටත් ඔවුන් දෙපාර්ශවය වෙනුවෙන් සම්බන්ධීකාරකයෙකු ලෙසින් කටයුතු කිරීමට අපි වග බලා ගන්නවා.

ඉතින් මේ කර්තව්‍යයේ මෙම වසරේ කෙරෙන දෙවන වැඩසටහන සිදුකිරීමට අප කලර් අ ඩ්‍රීම් කණ්ඩායම දැනමටත් සූදානම් වෙමින් සිටිනව. මෙවර වැඩසටහන තුළින් කුඩා දරුවන් 17 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.එලැඹෙන ජූනි මස පළමුවන දින ගම්පහ නගර සභා ශ්‍රවනාගාරයේදී මේ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකිරීමට නියමිතයි.

මේ සඳහා පරිත්‍යාගශීලියෙකු ලෙසින් ඉදිරිපත්වීමට හෝ මේ කර්තව්‍යය පිළිබඳ කිසියම් තොරතුරක් දැනගැනීමට යමෙක් වෙතොත් අප කණ්ඩායමේ Marino Joseph (0779006742)අමතන්න ඔබට පුළුවන්,නැතිනම් පිවිසෙන්න අපේ වෙබ් අඩවියට 


අඳුරට සාප කරමින් කල් ගෙවන්නවුන් අතර ඒ අඳුර මකාලමින් තම දිවිය ජය ගන්න වෙර දරන මල් කැකුළුවන් කුඩාවුන් හට අත්වැලක් වෙන්නට පෙළ ගැසෙමු ඔබට අපට පුලුවන් අන්දමින් හැම දිනම.


Wednesday, March 19, 2014

අවුරුදු දෙකක් IMCD පවුලේ....

එක තත්පරයකින් මුළු ලෝකෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එක තීරණේකින් අපේ මුළු ජිවිතයම වෙනස් වෙන්න පුළුවන්.
 

ඒ 2012 අවුරුද්ද. මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඔව්.. හුස්ම ගන්න, නාඩි වැටෙන විදිහ පවා වෙනස් උනා. 

2012 අගෝස්තු මාසෙදි YouthFest Sri Lanka conference එකේදී මට හම්බ වෙනවා අපූරු මනුස්සයෙක්. ඒ උපුල් සේනානායක. ඔහු මට කියනවා ලංකාවේ දුෂ්කර පළාත් වල තියෙන පාසල් වලට කියවීම් පොත් බෙදා දීමේ ව්‍යාපෘතියක් ගැන. මම අහගෙන ඉන්නවා. කොහොමත් පොත් ගුල්ලෙක් වෙච්චි මට ඒ කතාව අල්ලලා යනවා. මේ වැඩේට සපෝට් එකක් දෙන්න ඕනේ කියලා හිතාගෙන මම Needy Readers ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා.

ඔන්න ඔහොමයි නාඩියා ගේ IMCD ආගමනය සිද්ධ වෙන්නේ. එදා ඉදන් අද වෙනකම්ම මගේ IMCD පවුල මාව ජිවත් කරවනවා.

අපේ යාලුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, දන්නා කියන අයගෙන් කියවන පොත් එකතු කරගෙන අවශ්‍යතා ඇති දුර පළාත් වල පාසල්, සංස්කෘතික මධ්‍යාස්ථාන, පුස්තකාල හොයාගෙන ගිහිං බෙදලා දෙද්දී මට මතක් වෙන්නේ ඒ දවස් වල අපිට අලුත් පොතක් ලැබුනහම ඒ සුවඳ විඳ විඳ අපි හිනා උණු හැටි. පොත් ලැබිලා හරිම අහිංසක විදිහට හිනා වෙන පුංචි උන් හැමදාම අපේ ජිවිතේ අලුත් කළා.

තුන්නාන ශ්‍රී සුමනජෝති විද්‍යාලයෙන් අපි පටන් ගත්ත Needy Readers ව්‍යාපෘතිය, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, පන්නල, කඩුගන්නාව, පානම  වගේ ලංකාව වටේ පළාත් විශාල ප්‍රමාණයකට අපි පොත් අරගෙන ගියා. හිස් වෙච්චි පුස්තකාල වල පොත් රාක්ක අපි ඔයගොල්ලෝ දුන්නු පොත් වලින් පිරෙව්වා.

My Dream School, පුංචි උන් සිහින මවන සිහින පාසලේ සිහිනය යන්තමින් හරි සැබෑවක් කරන්න අපි උත්සාහ ගත්තා. මුල්ම My Dream School ව්‍යාපෘතිය දියත් උනේ අනුරාධපුර, මහකනදරාව යාය 1 විද්‍යාලයේ. යුගොස්ලොඉවියානු ජාතික ජූලියා ගේ උදව් ඇතිව අපි ඒ පුංචි උන් හොයාගෙන ගියේ අත බර වෙන්න තෑගී බෝග අරගෙන. මට තාම මතකයි ඒ තෑගී අරං පුංචි උන් හරිම සතුටින් අපි හදපු වොලිබෝල් පිට්ටනියේ අපිත් එක්ක වොලිබෝල් ගහපු හැටි...

ශ්‍රී ලංකාව වටේ විවිධ පාසල් වලට යද්දී අපි දැක්ක දෙයක් තමයි අවශ්‍යතා තියෙන දූ දරුවෝ බොහොමයක් ඉන්නවා කියන එක. ඒ අයට පුංචි ගෝ සහනයක් දෙන්න IMCD, Color A Dream ව්‍යාපෘතිය නිර්මාණය වෙනවා. මේ වෙනකොට අපි පුංචි මල් කැකුළු බොහොමයකගේ ජිවිතේට පාට දුන්නා කියලා මතක් වෙද්දී හිතට එන්නේ නිරාමිස සතුටක්.

පහ වසර ශිෂ්‍යත්වයට උදව්වක් අරමුණු කරගෙන පටන් ගත්ත Path to Wisdom ව්‍යාපෘතිය අද වෙනකොට වඩාත් සංවිධානාත්මක විදිහට විවිධ සම්මන්ත්‍රණ කරගෙන යනවා ලංකාව පුරාම..

Amuzed!!!! හිනා වෙන්න කැමති අහිංසක මුහුණු වලට හිනාවක් අරගෙන යන්න නිර්මාණය වෙච්චි මේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ කෑගල්ල, බල්ලපාන ඕලන්ද වත්ත අරසරණ සරණ නිවාසයෙන්, ඊට පස්සේ කළුතර මාක් ශ්‍රී නිවාසයටත්, අඹේපුස්ස බෝතලේ “අපේ ළමයි” විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලටත් IMCD අපි ගියා.

ඒ අයත් එක්ක හිනා උනා. සෙල්ලම් කළා. නැටුවා, සින්දු කිව්වා. දවසකට හරි අපි ආයේ ළමයින් උනා. හරිම සතුටක් දැනෙන්නේ දවසින් දවස අපිත් එක්ක එකතු වෙන පිරිස වැඩි වෙනවා දැක්කහම.

මේ ඔක්කොම පටන් අරගෙන තව අවුරුදු දෙකයි. හැබැයි ආපහු හැරිලා බලනකොට අපිටත් හොරෙන් අපේ ඇස් තෙත් වෙන්නේ සතුටු කඳුළු වල උණුසුමට.

මිනිස්සු ජිවත් වෙනවා කියන්නේ හුස්ම ගන්න එකට විතරක් නෙවෙයි. ජිවත් වෙනවා කියන්නේ තවත් කෙනෙක්ට ජිවත් වෙන්න උදව් කරන එකටයි. 

මම ජිවත් වෙනවා.. ඔබ?

Friday, February 28, 2014


පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙන සුර්යාලෝකය තවමත් මන්නාරම් කොටු පවුර හැර ගොස් නැත. හිරු රැස් උරා ගත් සාගර ජලයේ දිය රැලි රන්වන් පැහැයෙන් දිලෙයි. ඈතට ඈත ට විහිදෙමින් සුර්යාලෝකයේ ගිනියම් පැහැය තුල නො පෙනී යන ක්ෂිතිජ රේඛාව මෙන් ම මගේ ජීවිතය ද ඉවක් බවක් නැතිව, සීමාවක්, ඉමක් දැකිය නො හැකි ව ඇදී ඇති අපැහැදිලි රේඛාවක් වැනි ය. උස්ව නැගී බිදී යන මුහුදු රැලි මෙන් ම මගේ දිවිය ද අවිනිශ්චිත නොවේ ද ? “
                   
                    -  කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා (පෘතුගීසි සමය) - 

           ගෙවෙන නවම් මහේ පසුගිය 22 වෙනි සෙනසුරාදා හැන්දෑ යාමය මන්නාරම් තානායමේ ම ගත කරන්නට හිතාන, පෙර දවසේ කොළඹෙන් මන්නාරම් බලා එන්නට මොහොතකට පෙර සරසවියෙන් ගත්තු සෙංකඩගල මහා බිසෝ පොතේ පිටු පෙරළුව ද හිත මොහොතකට වත් එක්තැන් කර ගන්නට නො දෙන තරම් ම ගිනි කාෂ්ටකේ දෑසට පීඩා ගෙන  දෙන්නට විය. 

         අතට ගත්තු පොත එහෙමම අතේ දරා ගෙන තානායම් දොරටුවෙන් එලියට ගැටුවේ අයාලේ යන හිතට ඉඩ දී මිට පෙර පහස නො ලැබූ මන්නාරම් ඉසව්වේ ඔහේ ඇවිද යන්නට ය. ඉතින් අහුවෙන පාරවල් දිගේ ගොස් අතර මග දී හමුවෙන මන්නාරම් යුවතියන්ගෙන් පාර  අසාගෙන මන්නාරම් නගරයට යන මග හොයා ගතිමි. සල්වාර් ඇදුමෙන් හිස ගත වැසුණ ද කුංකුම තිලකේ නළලත් හැඩ කල  ද එක පාටක් මනුස්ස කමේ ලෙයක් සිරුර පුරා කිරුල දැරූ නිසා දෝ නොහදුනන නගරයක අතරමන් නොවී හරි හැටි සිමා මායිම් වත ගොත විස්තර දැන ගැනීමට හැකි වූ බවද නොකියා බැරිය. 

       මන්නාරම් නගරයේ පසකින් අහස උසට වියන් බැද ඇත්තේ මන්නාරම් කොටු පවුර යි. සිය වස් දහස් ගණනකට මෙපිටින් දහ නම වියැති මා ද පෘතුග්‍රීසි යුගයේ දහ නම වියැති දෝන කතරිනා කුමරියත්  කොටු පවුරේ සක්මනේ යෙදුණු මොහොතෙහි නම් වෙනසක් නොවූ බව සොබා දහම නම් අපූරුවට කියා පෑවේ ය. 

     උස්ව නැගී බිදී යන මුහුදු රැලි සේම අවිනිශ්චිත යයි හැඟෙන, ගිනි අළු යටින් හෙමිහිට සිය රශ්මිය විහිදුව න  මන්නාරම් අහස යට තවමත් හෙමිහිට මෝදු වෙන තරු කට ගොන්නකට දැනුම් සයුර කරා යන ගමනක පෙර ගමන් කරුවෝ වෙන්නට මිට ටික කලකට පෙර දැනිනු හැඟීම යථාර්ථයක් කරමින් මේ මන්නාරම් මහා පොලවට අපි සපැමිණි බැව් මන්නාරම් සුළගත් මමත් විතරක් දන්නා රහසක් නොවිණි. 

    ඉතින් මෙහි මේ කොටු පවුරේ හුස්ම සුළඟට මුහු වෙන මායිමේ ඉන්නේ මම පමණක් ම නොවේ. මගේ සගයනුත් මා සමගිනි. 

     සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (International Movement for Community Development) හෙවත් IMCD ආයතනයේ  අපි මේ මන්නාරම් අහස යටට පැමිණියේ තවත් එක් අපේ ව්‍යාපෘතියක් සඳහායි. 

     එනම් පොතක් දී අනාගතයක් එලිය කරමු( DONATE A BOOK, LIGHT A FUTURE )  යන තේමාව අනුව යමින් පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන Needy Readers ව්‍යාපෘතිය අපේ මවුබිමේ මෙන් ම දසත මුළු මහත් ලෝකයේ විසිරී සිටින දානපතියන්ගෙන් ආධාර ලෙස ලැබෙන නව සහ පාවිච්චි කරන ලද  පොත් පත් එක් රැස් කර ගෙන කියවීමට කැමති දැයේ  අහිංසක දුවා දරුවන් වෙත ලබා දීමේ මහඟු කර්තව්‍යයේ තවත් එක් පියවරක් තැබීමට ඉතින් අප පසුගිය පෙබරවාරි 22 වෙනිදා මන්නරම අඩම්පන් පාසලේ දී සුදානම් වීමු.

    Needy Readers ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයකට පුස්තකාල පොත් බෙදා දී ඇතත් මෙහි දී සිදු කරනු ලැබූ කර්තව්‍යයේ විශේෂත්වය වන්නේ උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසායි.  පොත් 1500කට අධික ප්‍රමාණයක්  තේවන්පීඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලය, තුයා ජෝසෙප් වාස් මහා විද්‍යාලය,  තෙඩ්චානර් මතුතම්න්දු රජයේ දමිල මිශ්‍ර විදුහල හා අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්  4කට සහ මන්නාරම් යුද හමුදා කඳවුරට අවැසි පොත්  ඔවුනට ලබා දිම අරමුණු කර ගනිමින් අප එදින අඩම්පන් විදුහල් පරිශ්‍රය කර පිය නැගුවෙමු. 

      මෙය අපට ඉතා ම සුවිශේෂිත ය. මන්ද  උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසා යි.

   දශක 3කට අධික කාලයක් රුදුරු යුද්ධය නිසා ගතින් සේම සිතින් ද අපමණ දුක් කරදර විදි දරු දැරියන් අබිමුවට ගොස් ඔවුන් හා කෙසේ කතා බහා කරන්නද කියා චකිතයක් හිත පුරා දිව ගියද ඔවුන් දුටු පළමු දසුනින් ම එය පහව ගිය බව නම් කිව යුතුමය. 

     ඔවුන්ගේ ආගමානුකූල ව නළල තට තිලක තබා මල් මාලා පලඳිමින්  අමුත්තන් වූ  මන්නාරම් මඩු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් , පාසල් හතරේ විදුහල්පතිවරුන් , ශ්‍රී ලංකා හමුදාවේ 54 වෙනි සේනාංකයේ  නිලධාරින් , පාසල් 4හි සිසුන් සහ IMCD, Needy Readers සාමාජිකයන් පිලි ගනිමින් අඩම්පන් විද්‍යාලයේ සිසුන් ඔවුන් ඔවුන් ගේ හදපත්ලෙන් ම ඔවුන්ගේ ළෙන්ගතුකම විහිදු ආකාරය නම් අපුරු ය. 

   එක් තැනක තිබුණු හරිම අපූර්ව ලෙස කෝලම් රටා මවා ඈඳී කෝලම් සිතුවම කාගෙත් නෙත් සිත් පැහැරගත් බව නම් නිසැකයි. 

    විවිධාකාර සොඳුරු අංගයන්ගෙන්  සැපිරූ උත්සවයක් මධ්‍යයේ පොත් බෙදා දීමෙන් අනතුරුව ඔවුන් සබකෝලයෙන් තොර ව අප හා එක්ව කතා කරමින් සෙල්ලම් කරමින් දවස ගෙවූ ආකාරය ද අපුරු ය. 

තල් අරණක ජීවිතය ගෙවුන ද ඔවුන් මහඟු දස්කම් ඇති දුවා දරුවන් පිරිසක්. හෙට ලෝකය අපෙන් පසු රැක ගන්නට තරම් නායකත්වයෙන් හෙබි පිරිසක්. අපිට වුවමනාද එයයි. 

     ඉතින්,  හැම දෙයක් ම ඉතාමත් සාර්ථක ලෙසින් නිම කරමින් ආපහු කොළඹ බලා එන්න පිටත් වීමු. ඒ ද තවත් එක කාර්යයක් අවසන් යයි කියා සිතා නොවේ ජීවිතයට  ලැබුණු අපුරුතම අත්දැකීම ගැන ආඩම්බර වෙමිනි.

     ජීවිතය ඇත්තේ ආගම් බේද , ජාති වාද ඇතුළත නොවේ එයින් ඔබ්බට ගිය මනුස්ස කම තුලය. හිත මිතුරු කම ගොඩනැගෙන්නේ එක සිනා රැල්ලෙන් මිස උප්පැන්නයෙ එක තීරුවකින් නොවේ.  ජීවිතය ඇහිඳිය යුත්තේ එක පොළොවක් මත හිඳ මිස තනි වුනු එක පොලෝ කුහරයක තුල  හිඳ නොවේ. 

  වරුවක එකමුතුවකින් වුව ද මන්නාරම් තුඩුවේ දරුවන් අපට කියා දුන්නේ එයයි. නිවී දිලිහෙන ආකාසේ ලොකු තරු කණමැදිරි එලි දල්වන පුංචි තරු පොකුරු ව කවදාවත් එලිය මදි කියල අහසින් එළවන්නේ නෑ. එක අහසක් යට ඉද ගෙන සැවොම එකා සේ ලෝකේට සේවය කරනවා. අවිනිශ්චිත ජීවිතයෙන් අතරමන් නො කර පාර කියනවා.
සැවොම එකා වන් ව නැගී හිඳිනවා. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා. 
  
   එයයි ජීවිතය.. එයයි ආගම.. එයයි ජාතිය.. එයයි මනුස්ස කම.. 

ජායාරූප :

මන්නාරම් අහස 

IMCD ආයතනය පිළිබද හදුන්වා දෙමින් 

යුද හමුදා 54 වෙනි සේනාකයේ නිලදාරී තුමන්ට සංකේතාත්මකව පොත් ලබා දෙමින් 

පාසල් සදහා පොත් සංකේතාත්මකව ලබා දෙමින් 
කෝලම් රටා 

මන්නාරම් කොටු පවුර


- අරුණි කළුපහන -    






Friday, February 7, 2014

අපේ ළමයි !!!

                                 
                                               

                                                     පවුලකට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ මුළු පවුලෙම බලාපොරොත්තු ලියලන්නෙ ඒ දරුවා වෙනුවෙන්.හෑම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම පැතුම නීරෝගී දරු උපතක්.එහෙත් දෛවයේ සරදමකින් උපදින දරුවා ශාරීරික හෝ මානසික අතින් වෙනස් කෙනෙක් වුනොත් දෙමාපියන්ගේ හිතේ පත්තුවෙන ගින්දර හදුනන්නෙ ඒ අත්දැකීමට කලින් මුහුනදීල තියෙන කෙනෙක් විතරයි.

                           

                              අඹේපුස්ස ,බෝතලේ පදිංචි වෙලා ඉන්න තිලකරත්න යුවල ගෙවුනු අවුරුදු 22 පුරාවට මේ අත්දැකීමත් එක්ක ජීවත් වුණ දෙදෙනෙක්.ඒ වගේම අපේ බොහෝ දෙමාපියන්ට ආදර්ශයක්.තමන්ට ලැබුණු දරුවව මහපාරට ,රේල්පාරට ,මුහුදට විසිකරලා තමනුත් දිවි හානි කරගන්නැතුව ජිවිතයට ශක්තිමත්ව මුහුන දෙමින් රටට බරක් නොවන දරුවන් බිහිකරන්න අපේ ළමයි ළමා නිවාසය ගන්න වෑයම එතනට යන කාගේත් දෑස් තෙත් කරනවා.

                                         
                                 අද විශ්වත් එක්ක එයා වගේම නංගිලා මල්ලිලා 22 දෙනෙක් ජීවත්වෙන හැටි ඉගෙනගන්නවා .ඔවුන්ගෙ දෙමාපියන්ගේ  හිතේ හයියෙන් , මහන්සියෙන් ගොඩනැගුන මෙතන මුළුතැන්ගේ පටන් ගෙමිදුල දක්වා අඩුපාඩු බොහොමයි.ඒත් ඔවුන්ගේ අධිෂ්ඨානයේ නම් අඩුවක් නැහැ.



                                   මේ පාර Amuzed  එක්ක අත්වැල් බැදගෙන මාර්තු මාසෙ 8 වෙනිදා ඔවුන්ට සතුට අරන් ගිහින් , කෑමවේලක් බෙදාගෙන ,ඔවුන්ගෙ අඩුපාඩු හැකි උපරිමයෙන් පිරිමසා දෙන්නයි අපේ සූදානම.
                                  
                     අපිට ඕනි ඒ බලාපොරොත්තුවෙ සතුට ඔබත් එක්ක බෙදාගන්න . රටට බරක් නොවන දරුවන් තනන්නට උත්සාහ ගන්න ඔවුන්ගෙ හිතේ ගින්දර ටික දවසකට හරි නිවලා එන්න.ඹබේ උපන්දිනය ,විවාහ සංවත්සරය ඔවුන් එක්ක එකතුවෙලා සමරන්න ඔබත් කැමතිනම් ,එහෙම නැතිනම් මහන්සිගෙන් උපයන මුදලින් කොටසක් ඔවුන්ගේ දුක නිවන්න දායක කරන්න කැමතිනම් අපිව අමතන්න .ඔවුන්ගේ සතුටු සිනා වල ඔබත් හිමිකරුවෙක් වනවා නොඅනුමානයි.

වැඩි විස්තර සදහා විමසන්න

හසාරා 0775275080
සචිත්   0773852970
ප්‍රභානි  0717169639

නැතිනම් මේ සත්කාරයේ වටිනා දායකයෙකු වන්න


                                                                                 

                                                සැකසුම :හසාරා තෙන්නකෝන්