Sunday, August 17, 2014

රටක සමාජයක දියුණුව රඳා පවතින්නේ එම රටේ තරුණ පරපුරෙහි ගුණාත්මක බව මතයි.නැතහොත් රටේ ළමා පරපුරේ යහපත වෙනුවෙන් අද කරන්නාවූ ආයෝජනය මතයි.

මීට වසර දෙකකට ඉහතදී පෙර කී කරුණු පිළිබඳ මනා අවබෝධයක් තිබූ උගත් මෙන්ම බුද්ධිමත් තරුණයින් තිදෙනෙක් සහයෝගිතාවයක් පිහිටුවාගන්නේ ඔවුනට හැකි පමණින් සමාජයට, එකී සමාජයේ තරුණ පරපුරට මෙන්ම ළමා පරපුරට අත හිත ලබා දෙන්න ,එමඟින් සමාජයට යහපතක් මිස වෙනත් කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙමිනුයි.කාලයේ ඇවෑමෙන් ඒ තරුණයින් තිදෙනා ඇරඹී මහඟු කර්තව්‍යය වටා තවත් තරුණ පිරිස් සිය ගණනක් එක් රොක් වෙන්නේ සමාජයට යහපත සලසන්න යන ඒ ගමනට තවත් සවියක් වෙමින්.ඉතින් ඒ සහයෝගිතාවය නමින් IMCD (සාමාජ සoවර්ධනය උදෙසා වූ අන්තර්ජතික සහයෝගිතාවය ). ඔවුන් තම මෙහෙවර ක්‍රියාත්මක කරන්නේ විවිධ වූ එකිනෙකට වෙනස් ව්‍යාපෘති කිහිපයක මුහුණුවරින්.

ඉතින් එලෙස පටන් ගත් එක් ව්‍යාපෘතියකි ඔවුහු තම තෙවන ව්‍යාපෘතිය ලෙස දියත් කළ කලර් අ ඩ්‍රීම් (COLOURA DREAM) ව්‍යාපෘතිය.

පුoචි කාලේ අපි දැක්ක හීන සැබෑ කරගන්න නොහැකි උනාම හිතට දැනුන වේදනාව ඔබත් විඳල ඇති,අපි හැමොටම එවැනි අත් දැකීම් තියනව.ඉතින් එවන් වූ හීන ගොන්නක් හිතේ පුරව ගත්ත අහින්සක පුoචි නoගිලා මල්ලිලා වෙනුවෙන් ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න අවශ්‍යය උදව් උපකාර ලබා දෙන්නයි කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM) ව්‍යාපෘතිය පිහිටවා ඇත්තේ. 

විශෙෂයෙන්ම සඳහන් කරොත් අධ්‍යාපනික වශයෙන් ක්‍රීඩාමය වශයෙන් යන විවිධ අoශ වලින් විශේෂ දක්ෂතා ඇති නමුත් ඒ සඳහා මූල්‍යමය අවශ්‍යතාවයන් සපුරාගත නොහැකි පවුල් වල දරුවන් වෙනුවෙන් අපි සහය ලබා දෙන්නේ ඔවුනට උදව් කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වෙන පරිත්‍යාගශීලි භවතුන්ගේ උපකාරයෙනි.

එමඟින් ප්‍රථිලාබ ලබන කුඩා දරුවන්ගේම මෙන්ම නොමසුරු පරිත්‍යාගයන් සිදු කරන සියලූම පරිත්‍යාගශීලීන්ගේ අනන්‍යතාවයට,පෞද්ගලිකත්වයට හා පෞරුෂයට හානියක් නොවන අන්දමින් මෙම කර්තව්‍යය සකසුරුවම් ව කරගෙන යාමට කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM) කණ්ඩායම අතරමැදියෙක් ලෙස කටයුතු කරනවා.එමෙන්ම ප්‍රථිලාබ ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වරින් වර නිරීක්ෂණය කරමින් ඔවුන් එම උදව් උපකාරයන් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ප්‍රගතියක් ලබනවාද යන්න සොයා බැලීමත් මෙම කණ්ඩායමේ සාමාජිකයින් අතින් සිදු වෙන්නේ එම දරුවන් අධ්‍යාපනය ලබන පාසල් වල උපකාරයද ඇතුවයි.


ඉතින් අද දවස එකී කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM) කණ්ඩායමට වැදගත් දවසක් ඒ මන්ද යත් මීට හරියටම වසරකට පෙර ඇරඹූ මෙම ව්‍යාපෘතියට අද දවසේදී (2014/ 08/ 18) වසරක් සපිරෙන නිසාවෙනි. වසරකට ඉහතදී පළමු අදියර ලෙසින් කුඩා දරුවන් 5 දෙනෙක් හට උදව් උපකාර කරමින් ඇරඹූ මෙම ව්‍යාපෘතිය වසරක් ආ මේ ගමන් මඟ තුළ අද වන විට තම සිහින කරා ලුහු බඳින පුoචි දරුවන් 25 දෙනෙක්  මෙමඟින් ප්‍රතිලාබ ලබන බව පවසන්නේ හද පිරි සතුටකිනි. ඒ අය ,පැවැති යුද්දයෙන් අවතැන් වූ මන්නාරම ප්‍රදේශයේ අහින්සක දරුවන් කිහිප දෙනෙකුගෙන්ද සමන්විත වන්නේය. ඔවුන් වෙනුවෙන් උපකාර ලබා දෙන්න අපිත් එක්ක අත්වැල් බැඳන් ඉන්න පරිත්‍යාගශීලීන් ගණන 18ක් එමෙන්ම කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM)  කණ්ඩායමේ උන්නතියට අත හිත දෙන ස්වේච්චා සහෝදර සහෝදරියන් පිරිස දැන් 50කටත් ආසන්නයි.



ඉතින් මේ ආ ගමන මෙලෙසින් සාර්ථක කරගන්න අප කණ්ඩායම වටා එක් වුනු ඔබ සැමට අපගේ හද පිරි ගෞරවය.වසරක ගමන තවත් ඉදිරියට ගෙන යමින් අපේ රටේ පුoචි ඒ සිත් දකින අහින්සක සිහින සිත්තම් කරන්නට තව තවත් කටයුතු කරන්නයි අපේ බලාපොරොත්තුව, ඒ කටයුත්ත සාර්ථක කරගන්න එන්න අපිත් එක්ක රොද බැඳෙන්න අපේ එකතුවට ඔබ පැමිනෙන්න ඒ ආරාධනාව ඔබ සැමට විවෘතයි.

To Register as a donor follow : http://colouradream.imcds.org/donor_register.php

For more info follow colour a dream's facebook fan page : ColourADream

or contact Marino Joseph of Donor management team : 0779006742



Monday, July 21, 2014

මල් වගේ පුංචි දරුවෝ කොයි කවුරුත් එක වගේ.. ජාතිය ආගම මොකක් වුනත් ඔවුන් ලෝකය දකින්නේ එක විදියට.. ඔවුන්ගේ අහිංසක හිනා රැල්ලෙන් ලපටි ඇස් වලින් විහිදෙන එළියෙන් ඔවුන් ලෝකය බබලනවා.. පුංචි දරුවෝ කියන්නේ මනුෂ්‍යත්වයට  යන පාර කියන දේව දුතයන් වගේ.. 

ඔබ ගොඩක් දුකින් එහෙම නැත්තම් තරහෙන් ඉන්න මොහොතක පුංචි දරුවෙක් ඇවිත් ඔබ එක්ක කතා කරපු හිනා වුන මොහොතක් ඔබට මතකද ?? ඔබේ තරහාව දුක ඔබට අමතක වුනා නේද ඔවුන් ඉදිරියේ.. ඔබේ හිතට සැනසුමක් දෙන්න ඒ පුංචි හිත් වලට පුළුවන් වුනා නේද..  මේ විශ්වයේම සතුට සැනසුම රැදිලා තියෙන්නේ පුංචි දරුවන් අතේ යි කියලා අපි කියන්නේ අන්න ඒ නිසයි..

හැබැයි හෙට දිනයේ පිපෙන ඉන්න මේ ලපටි මල් කැකුළු වලට හයියක් ඕනේ මයි..  ඒ ඔවුන් මහා ගසක් තරම් ශක්තිමත් නොවෙන නිසාවෙන්.. අනාගතයේදී දවසක ඔවුන් මහා වෘක්ෂයන් ලෙසින් මේ මහා පොලව මතම කලඑළි බසිවී..  ඒත් ඒ දවස එනකම් ඔවුන්ව රැකබලා ගන්නේ කවුද ???  එතකොට කෙනෙක් කියාවි.. ඒකට තමා අම්මයි තාත්තයි ඉන්නේ කියලා.. 

ඔව් ඒක ඇත්ත.. අම්මයි තාත්තයි අපට උණුහුම දීලා අපි ශක්තිමත්ව අපේ දෙපයින් හිට ගන්න පුළුවන් වෙනකම් අපිට හවුහරණක් වුනා තමයි.. ඒත් අම්මා තාත්තා නැතිව ලෝකේ අසරණ වුන දරුවන්ට ඒ විදියට අත දෙන්න කවුද ඉන්නේ ??? ඔවුන් සාමාන්‍ය විදියට මවුපියන් එක්ක හැදෙන දරුවෙක්ට වරප්‍රසාද හම්බෙන්නෙත් නැහැ..  ඒත් ඒ අහිංසක පුංචි දරුවන්ටත් හයියක් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ නේද??? 

අන්න ඒ නිසයි IMCD , Amuzed Team එකේ අපි ඔබවත් එකතු කරගෙන ඒ වගේ අහිංසක පුංචි දරුවන්ට හයියක් වෙන්න හිතුවේ..  ඉතින් ඒ වගේ අසරණ අහිංසක පුංචි ලපටි මල් කැකුළු හොයාගෙන අපි ඊළගට පියවර තියන්නේ රත්මාලන , මාලිගාව පාරේ . අංක 98 දරණ ස්ථානයේ පිහිටි පුංචි පිරිමි දරුවන් රැසකගෙන් සමන්විත නිවසකටයි.. 

ඒ ජුලි මාසේ 29 වෙනිදයි.. එදා දවස ( ප.ව 2.30 ඉදන් 9.00 වෙනකම් ) ඔවුන් එක්ක ගත කරලා ඔවුන් ව සතුටින් තියන්නයි අපේ වෑයම...  හැබැයි අපි ඔවුන්ව බලන්න යන්නේ හිස් අතින් නම් නෙවේ.. ඔවුන්ට අවශ්‍යම කරන දැනට අඩු පාඩු ලෙසින් පවතින දේවල් රැසක් අරගෙන යි.. 

ඉතින් මේ සියලු දේට පුංචි දරුවන්ට ආදරේ කරන ඔයාලටත් දායක වෙන්න පුළුවන්.. ඒ මෙන්න මේ විදියටයි.. 

ඔයාලත් ඒ අසරණ පුංචි ළමයින් එක්ක කතා කරන්න එයාලාට ශක්තියක් වෙන්න , එයාලා එක්ක දවස ගත කරන්න අපිත් එක්ක එන්න කැමති නම් මෙන්න මෙතනින්   ඒ විස්තර අරගෙන සම්බන්ද වෙන්න පුළුවන්.. 

එහෙම නැත්තම් ඒ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න පරිත්‍යාග ලබා දෙන්න කැමති නම් මෙන්න මේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කරන්න පුළුවන්... 

International Movement for Community Development
People's Bank
First City Branch
Savings Account
046-2-001-9-0004462

Or 
International Movement for Community Development
Sampath Bank 
City Office 
Savings Account
100 161 000 380

ඒ වගේම facebook event ඒකට එකතු වෙන්න  මෙතනින් එන්න  

" එන්න යන්න අපිත් එක්ක , අසරණ මල් කැකුළු වලට පාර කියන්න.. " 

ප.ලි - මිට අමතරව වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් Zulaikha 072 787 2322 /  Upul 077 251 7512 හරි එහෙම නැත්තම් IMCD , Amuzed Team එකේ අපි කාගෙන් හරි ඔබට වැඩි විස්තර දැන ගන්න පුළුවන්..



Saturday, May 24, 2014

පිපෙන්නට වෙර දරන මල් කැකුළු සිත්වල සිහින සුන්දරයි, නමුත් ඒ හැම සිහිනයක්ම සැබෑ කරගන්න නොහැකි වන පුoචි මල් කැකුළු අපේ සමාජයේ එමටයි.
ඉතින් ඔවුන්ගේ ඒ සිහින සැබෑ කරගන්න අපට යමක් කළ හැකිනම්? එවන් වූ අධිෂ්ඨානයක් පෙරදැරිව IMCD අපි ඇරඹූ තෙවන ව්‍යාපෘතියයි කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM).

 එමඟින් අපේ රටේ ඉගෙන ගන්න දක්ෂතා ඇති අනාගතයේ වෛද්‍යවරු, ඉන්ජිනේරුවන් එහෙමත් නැත්නම් සoගීතඥයින් වෙන්න සිහින දකින නමුත් ඒ සිහින සැබෑ කරගන්න අවශ්‍යතාවන් ඉටු කරගන්න තම දෙමාපියන්ට එතරම් වත් පොහොසත්කමක් නැති කුඩා මල් කැකුළු සොයාගෙන අපි යනවා.  

ඒ අතර අපි ඔවුන්ට අත හිත දෙන්න කැමැති පරිත්‍යාගශීලීන් පිරිස් සොයා යෑමත් සිදු කරනවා, ඔවුන් ඉදිරිපත් වන අන්දමට පුoචි දරුවන්ට ඇවැසි අධ්‍යාපන, ක්‍රීඩා උපකරණ වැනි දෑ ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු නිමා වන තුරු ශිෂ්‍යත්වයක් ලෙසින් ප්‍රදානය කරන්නට ඒ ඒ එක් එක් දරුවෙකු වෙනුවෙන් එක් පරිත්‍යාගශීලි මහතෙකු හෝ මහත්මියක කැපකරුවෙකු ලෙසින් පත් කරන්නට අප කටයුතු සිදු කරනවා.

මෙහිදී දරුවාගේ පෞරුෂයට හා ආත්මාභිමානයට හානියක් නොවන අන්දමිනුත් ,කැපකරුවන් ලෙස ඉදිරිපත්වන පරිත්‍යාගශීලීන්ගේ පෞද්ගලිකත්වයට බධාවක් නොවන අන්දමටත් ඔවුන් දෙපාර්ශවය වෙනුවෙන් සම්බන්ධීකාරකයෙකු ලෙසින් කටයුතු කිරීමට අපි වග බලා ගන්නවා.

ඉතින් මේ කර්තව්‍යයේ මෙම වසරේ කෙරෙන දෙවන වැඩසටහන සිදුකිරීමට අප කලර් අ ඩ්‍රීම් කණ්ඩායම දැනමටත් සූදානම් වෙමින් සිටිනව. මෙවර වැඩසටහන තුළින් කුඩා දරුවන් 17 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.එලැඹෙන ජූනි මස පළමුවන දින ගම්පහ නගර සභා ශ්‍රවනාගාරයේදී මේ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකිරීමට නියමිතයි.

මේ සඳහා පරිත්‍යාගශීලියෙකු ලෙසින් ඉදිරිපත්වීමට හෝ මේ කර්තව්‍යය පිළිබඳ කිසියම් තොරතුරක් දැනගැනීමට යමෙක් වෙතොත් අප කණ්ඩායමේ Marino Joseph (0779006742)අමතන්න ඔබට පුළුවන්,නැතිනම් පිවිසෙන්න අපේ වෙබ් අඩවියට 


අඳුරට සාප කරමින් කල් ගෙවන්නවුන් අතර ඒ අඳුර මකාලමින් තම දිවිය ජය ගන්න වෙර දරන මල් කැකුළුවන් කුඩාවුන් හට අත්වැලක් වෙන්නට පෙළ ගැසෙමු ඔබට අපට පුලුවන් අන්දමින් හැම දිනම.


Wednesday, March 19, 2014

අවුරුදු දෙකක් IMCD පවුලේ....

එක තත්පරයකින් මුළු ලෝකෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එක තීරණේකින් අපේ මුළු ජිවිතයම වෙනස් වෙන්න පුළුවන්.
 

ඒ 2012 අවුරුද්ද. මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඔව්.. හුස්ම ගන්න, නාඩි වැටෙන විදිහ පවා වෙනස් උනා. 

2012 අගෝස්තු මාසෙදි YouthFest Sri Lanka conference එකේදී මට හම්බ වෙනවා අපූරු මනුස්සයෙක්. ඒ උපුල් සේනානායක. ඔහු මට කියනවා ලංකාවේ දුෂ්කර පළාත් වල තියෙන පාසල් වලට කියවීම් පොත් බෙදා දීමේ ව්‍යාපෘතියක් ගැන. මම අහගෙන ඉන්නවා. කොහොමත් පොත් ගුල්ලෙක් වෙච්චි මට ඒ කතාව අල්ලලා යනවා. මේ වැඩේට සපෝට් එකක් දෙන්න ඕනේ කියලා හිතාගෙන මම Needy Readers ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා.

ඔන්න ඔහොමයි නාඩියා ගේ IMCD ආගමනය සිද්ධ වෙන්නේ. එදා ඉදන් අද වෙනකම්ම මගේ IMCD පවුල මාව ජිවත් කරවනවා.

අපේ යාලුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, දන්නා කියන අයගෙන් කියවන පොත් එකතු කරගෙන අවශ්‍යතා ඇති දුර පළාත් වල පාසල්, සංස්කෘතික මධ්‍යාස්ථාන, පුස්තකාල හොයාගෙන ගිහිං බෙදලා දෙද්දී මට මතක් වෙන්නේ ඒ දවස් වල අපිට අලුත් පොතක් ලැබුනහම ඒ සුවඳ විඳ විඳ අපි හිනා උණු හැටි. පොත් ලැබිලා හරිම අහිංසක විදිහට හිනා වෙන පුංචි උන් හැමදාම අපේ ජිවිතේ අලුත් කළා.

තුන්නාන ශ්‍රී සුමනජෝති විද්‍යාලයෙන් අපි පටන් ගත්ත Needy Readers ව්‍යාපෘතිය, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, පන්නල, කඩුගන්නාව, පානම  වගේ ලංකාව වටේ පළාත් විශාල ප්‍රමාණයකට අපි පොත් අරගෙන ගියා. හිස් වෙච්චි පුස්තකාල වල පොත් රාක්ක අපි ඔයගොල්ලෝ දුන්නු පොත් වලින් පිරෙව්වා.

My Dream School, පුංචි උන් සිහින මවන සිහින පාසලේ සිහිනය යන්තමින් හරි සැබෑවක් කරන්න අපි උත්සාහ ගත්තා. මුල්ම My Dream School ව්‍යාපෘතිය දියත් උනේ අනුරාධපුර, මහකනදරාව යාය 1 විද්‍යාලයේ. යුගොස්ලොඉවියානු ජාතික ජූලියා ගේ උදව් ඇතිව අපි ඒ පුංචි උන් හොයාගෙන ගියේ අත බර වෙන්න තෑගී බෝග අරගෙන. මට තාම මතකයි ඒ තෑගී අරං පුංචි උන් හරිම සතුටින් අපි හදපු වොලිබෝල් පිට්ටනියේ අපිත් එක්ක වොලිබෝල් ගහපු හැටි...

ශ්‍රී ලංකාව වටේ විවිධ පාසල් වලට යද්දී අපි දැක්ක දෙයක් තමයි අවශ්‍යතා තියෙන දූ දරුවෝ බොහොමයක් ඉන්නවා කියන එක. ඒ අයට පුංචි ගෝ සහනයක් දෙන්න IMCD, Color A Dream ව්‍යාපෘතිය නිර්මාණය වෙනවා. මේ වෙනකොට අපි පුංචි මල් කැකුළු බොහොමයකගේ ජිවිතේට පාට දුන්නා කියලා මතක් වෙද්දී හිතට එන්නේ නිරාමිස සතුටක්.

පහ වසර ශිෂ්‍යත්වයට උදව්වක් අරමුණු කරගෙන පටන් ගත්ත Path to Wisdom ව්‍යාපෘතිය අද වෙනකොට වඩාත් සංවිධානාත්මක විදිහට විවිධ සම්මන්ත්‍රණ කරගෙන යනවා ලංකාව පුරාම..

Amuzed!!!! හිනා වෙන්න කැමති අහිංසක මුහුණු වලට හිනාවක් අරගෙන යන්න නිර්මාණය වෙච්චි මේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ කෑගල්ල, බල්ලපාන ඕලන්ද වත්ත අරසරණ සරණ නිවාසයෙන්, ඊට පස්සේ කළුතර මාක් ශ්‍රී නිවාසයටත්, අඹේපුස්ස බෝතලේ “අපේ ළමයි” විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලටත් IMCD අපි ගියා.

ඒ අයත් එක්ක හිනා උනා. සෙල්ලම් කළා. නැටුවා, සින්දු කිව්වා. දවසකට හරි අපි ආයේ ළමයින් උනා. හරිම සතුටක් දැනෙන්නේ දවසින් දවස අපිත් එක්ක එකතු වෙන පිරිස වැඩි වෙනවා දැක්කහම.

මේ ඔක්කොම පටන් අරගෙන තව අවුරුදු දෙකයි. හැබැයි ආපහු හැරිලා බලනකොට අපිටත් හොරෙන් අපේ ඇස් තෙත් වෙන්නේ සතුටු කඳුළු වල උණුසුමට.

මිනිස්සු ජිවත් වෙනවා කියන්නේ හුස්ම ගන්න එකට විතරක් නෙවෙයි. ජිවත් වෙනවා කියන්නේ තවත් කෙනෙක්ට ජිවත් වෙන්න උදව් කරන එකටයි. 

මම ජිවත් වෙනවා.. ඔබ?

Friday, February 28, 2014


“
පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙන සුර්යාලෝකය තවමත් මන්නාරම් කොටු පවුර හැර ගොස් නැත. හිරු රැස් උරා ගත් සාගර ජලයේ දිය රැලි රන්වන් පැහැයෙන් දිලෙයි. ඈතට ඈත ට විහිදෙමින් සුර්යාලෝකයේ ගිනියම් පැහැය තුල නො පෙනී යන ක්ෂිතිජ රේඛාව මෙන් ම මගේ ජීවිතය ද ඉවක් බවක් නැතිව, සීමාවක්, ඉමක් දැකිය නො හැකි ව ඇදී ඇති අපැහැදිලි රේඛාවක් වැනි ය. උස්ව නැගී බිදී යන මුහුදු රැලි මෙන් ම මගේ දිවිය ද අවිනිශ්චිත නොවේ ද ? “
                   
                    -  කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා (පෘතුගීසි සමය) - 

           ගෙවෙන නවම් මහේ පසුගිය 22 වෙනි සෙනසුරාදා හැන්දෑ යාමය මන්නාරම් තානායමේ ම ගත කරන්නට හිතාන, පෙර දවසේ කොළඹෙන් මන්නාරම් බලා එන්නට මොහොතකට පෙර සරසවියෙන් ගත්තු සෙංකඩගල මහා බිසෝ පොතේ පිටු පෙරළුව ද හිත මොහොතකට වත් එක්තැන් කර ගන්නට නො දෙන තරම් ම ගිනි කාෂ්ටකේ දෑසට පීඩා ගෙන  දෙන්නට විය. 

         අතට ගත්තු පොත එහෙමම අතේ දරා ගෙන තානායම් දොරටුවෙන් එලියට ගැටුවේ අයාලේ යන හිතට ඉඩ දී මිට පෙර පහස නො ලැබූ මන්නාරම් ඉසව්වේ ඔහේ ඇවිද යන්නට ය. ඉතින් අහුවෙන පාරවල් දිගේ ගොස් අතර මග දී හමුවෙන මන්නාරම් යුවතියන්ගෙන් පාර  අසාගෙන මන්නාරම් නගරයට යන මග හොයා ගතිමි. සල්වාර් ඇදුමෙන් හිස ගත වැසුණ ද කුංකුම තිලකේ නළලත් හැඩ කල  ද එක පාටක් මනුස්ස කමේ ලෙයක් සිරුර පුරා කිරුල දැරූ නිසා දෝ නොහදුනන නගරයක අතරමන් නොවී හරි හැටි සිමා මායිම් වත ගොත විස්තර දැන ගැනීමට හැකි වූ බවද නොකියා බැරිය. 

       මන්නාරම් නගරයේ පසකින් අහස උසට වියන් බැද ඇත්තේ මන්නාරම් කොටු පවුර යි. සිය වස් දහස් ගණනකට මෙපිටින් දහ නම වියැති මා ද පෘතුග්‍රීසි යුගයේ දහ නම වියැති දෝන කතරිනා කුමරියත්  කොටු පවුරේ සක්මනේ යෙදුණු මොහොතෙහි නම් වෙනසක් නොවූ බව සොබා දහම නම් අපූරුවට කියා පෑවේ ය. 

     උස්ව නැගී බිදී යන මුහුදු රැලි සේම අවිනිශ්චිත යයි හැඟෙන, ගිනි අළු යටින් හෙමිහිට සිය රශ්මිය විහිදුව න  මන්නාරම් අහස යට තවමත් හෙමිහිට මෝදු වෙන තරු කට ගොන්නකට දැනුම් සයුර කරා යන ගමනක පෙර ගමන් කරුවෝ වෙන්නට මිට ටික කලකට පෙර දැනිනු හැඟීම යථාර්ථයක් කරමින් මේ මන්නාරම් මහා පොලවට අපි සපැමිණි බැව් මන්නාරම් සුළගත් මමත් විතරක් දන්නා රහසක් නොවිණි. 

    ඉතින් මෙහි මේ කොටු පවුරේ හුස්ම සුළඟට මුහු වෙන මායිමේ ඉන්නේ මම පමණක් ම නොවේ. මගේ සගයනුත් මා සමගිනි. 

     සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (International Movement for Community Development) හෙවත් IMCD ආයතනයේ  අපි මේ මන්නාරම් අහස යටට පැමිණියේ තවත් එක් අපේ ව්‍යාපෘතියක් සඳහායි. 

     එනම් පොතක් දී අනාගතයක් එලිය කරමු( DONATE A BOOK, LIGHT A FUTURE )  යන තේමාව අනුව යමින් පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන Needy Readers ව්‍යාපෘතිය අපේ මවුබිමේ මෙන් ම දසත මුළු මහත් ලෝකයේ විසිරී සිටින දානපතියන්ගෙන් ආධාර ලෙස ලැබෙන නව සහ පාවිච්චි කරන ලද  පොත් පත් එක් රැස් කර ගෙන කියවීමට කැමති දැයේ  අහිංසක දුවා දරුවන් වෙත ලබා දීමේ මහඟු කර්තව්‍යයේ තවත් එක් පියවරක් තැබීමට ඉතින් අප පසුගිය පෙබරවාරි 22 වෙනිදා මන්නරම අඩම්පන් පාසලේ දී සුදානම් වීමු.

    Needy Readers ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයකට පුස්තකාල පොත් බෙදා දී ඇතත් මෙහි දී සිදු කරනු ලැබූ කර්තව්‍යයේ විශේෂත්වය වන්නේ උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසායි.  පොත් 1500කට අධික ප්‍රමාණයක්  තේවන්පීඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලය, තුයා ජෝසෙප් වාස් මහා විද්‍යාලය,  තෙඩ්චානර් මතුතම්න්දු රජයේ දමිල මිශ්‍ර විදුහල හා අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්  4කට සහ මන්නාරම් යුද හමුදා කඳවුරට අවැසි පොත්  ඔවුනට ලබා දිම අරමුණු කර ගනිමින් අප එදින අඩම්පන් විදුහල් පරිශ්‍රය කර පිය නැගුවෙමු. 

      මෙය අපට ඉතා ම සුවිශේෂිත ය. මන්ද  උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසා යි.

   දශක 3කට අධික කාලයක් රුදුරු යුද්ධය නිසා ගතින් සේම සිතින් ද අපමණ දුක් කරදර විදි දරු දැරියන් අබිමුවට ගොස් ඔවුන් හා කෙසේ කතා බහා කරන්නද කියා චකිතයක් හිත පුරා දිව ගියද ඔවුන් දුටු පළමු දසුනින් ම එය පහව ගිය බව නම් කිව යුතුමය. 

     ඔවුන්ගේ ආගමානුකූල ව නළල තට තිලක තබා මල් මාලා පලඳිමින්  අමුත්තන් වූ  මන්නාරම් මඩු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් , පාසල් හතරේ විදුහල්පතිවරුන් , ශ්‍රී ලංකා හමුදාවේ 54 වෙනි සේනාංකයේ  නිලධාරින් , පාසල් 4හි සිසුන් සහ IMCD, Needy Readers සාමාජිකයන් පිලි ගනිමින් අඩම්පන් විද්‍යාලයේ සිසුන් ඔවුන් ඔවුන් ගේ හදපත්ලෙන් ම ඔවුන්ගේ ළෙන්ගතුකම විහිදු ආකාරය නම් අපුරු ය. 

   එක් තැනක තිබුණු හරිම අපූර්ව ලෙස කෝලම් රටා මවා ඈඳී කෝලම් සිතුවම කාගෙත් නෙත් සිත් පැහැරගත් බව නම් නිසැකයි. 

    විවිධාකාර සොඳුරු අංගයන්ගෙන්  සැපිරූ උත්සවයක් මධ්‍යයේ පොත් බෙදා දීමෙන් අනතුරුව ඔවුන් සබකෝලයෙන් තොර ව අප හා එක්ව කතා කරමින් සෙල්ලම් කරමින් දවස ගෙවූ ආකාරය ද අපුරු ය. 

තල් අරණක ජීවිතය ගෙවුන ද ඔවුන් මහඟු දස්කම් ඇති දුවා දරුවන් පිරිසක්. හෙට ලෝකය අපෙන් පසු රැක ගන්නට තරම් නායකත්වයෙන් හෙබි පිරිසක්. අපිට වුවමනාද එයයි. 

     ඉතින්,  හැම දෙයක් ම ඉතාමත් සාර්ථක ලෙසින් නිම කරමින් ආපහු කොළඹ බලා එන්න පිටත් වීමු. ඒ ද තවත් එක කාර්යයක් අවසන් යයි කියා සිතා නොවේ ජීවිතයට  ලැබුණු අපුරුතම අත්දැකීම ගැන ආඩම්බර වෙමිනි.

     ජීවිතය ඇත්තේ ආගම් බේද , ජාති වාද ඇතුළත නොවේ එයින් ඔබ්බට ගිය මනුස්ස කම තුලය. හිත මිතුරු කම ගොඩනැගෙන්නේ එක සිනා රැල්ලෙන් මිස උප්පැන්නයෙ එක තීරුවකින් නොවේ.  ජීවිතය ඇහිඳිය යුත්තේ එක පොළොවක් මත හිඳ මිස තනි වුනු එක පොලෝ කුහරයක තුල  හිඳ නොවේ. 

  වරුවක එකමුතුවකින් වුව ද මන්නාරම් තුඩුවේ දරුවන් අපට කියා දුන්නේ එයයි. නිවී දිලිහෙන ආකාසේ ලොකු තරු කණමැදිරි එලි දල්වන පුංචි තරු පොකුරු ව කවදාවත් එලිය මදි කියල අහසින් එළවන්නේ නෑ. එක අහසක් යට ඉද ගෙන සැවොම එකා සේ ලෝකේට සේවය කරනවා. අවිනිශ්චිත ජීවිතයෙන් අතරමන් නො කර පාර කියනවා.
සැවොම එකා වන් ව නැගී හිඳිනවා. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා. 
  
   එයයි ජීවිතය.. එයයි ආගම.. එයයි ජාතිය.. එයයි මනුස්ස කම.. 

ජායාරූප :

මන්නාරම් අහස 

IMCD ආයතනය පිළිබද හදුන්වා දෙමින් 

යුද හමුදා 54 වෙනි සේනාකයේ නිලදාරී තුමන්ට සංකේතාත්මකව පොත් ලබා දෙමින් 

පාසල් සදහා පොත් සංකේතාත්මකව ලබා දෙමින් 
කෝලම් රටා 

මන්නාරම් කොටු පවුර


- අරුණි කළුපහන -