Monday, June 13, 2016

මේ ජිවිතයේ දී එක පාරක් පාරක් හරි නිමෙන්නට ඔන්න මෙන්න තියෙන කුප්පි ලාම්පු එළියකින් ස්කොලේ පොත් පාඩම් කරන්න ඔයාට සිදු වෙලා තියෙනවා ද ? ගෙදරට ලයිට් ගන්න සල්ලි නැතිව හිටපු කාලෙක ගෙදර තිබුණු අන්තිම භූමිතෙල් ටිකත් ඉවර වෙලා තියෙද්දී පාරේ අයිනේ ලයිට් කණුවක් යටට ගිහින් ලග එන විභාගේට පාඩම් කරන ජිවිත ගැන ඔබ දන්නවා ද ?
පිසා හට්,ගෝ නට්, බර්ගර් කින්ග් කියන වචන හීනෙකින්වත් අහලා නැති උදේට වතුර ටිකක් බිලා ස්කොලේ ගිහින් දවල්ට ගෙදර ඇවිත් වත්තේ වැවෙන බතල අල දෙක තුනක් තම්බගෙන පොල් චුට්ටක් ගාගෙන කුස පුරෝගන්න දරුවෝ ගැන ඔබ අහලා තියෙනවාද.. බත් ටිකක් උයාලා සම්බෝලයක් හදලා දරුවන්ට කන්න දෙන්නවත් ඒ දුප්පත් අම්මලට වත්කමක් නැහැ.. වත්තේ වැවෙන බතල අල ටිකයි අහල පහල වත්තකින් අහුලා ගන්න පොල් ගෙඩියයි නැති වුනොත් එයාලට වෙන්නේ බඩගින්නේ මැරෙන්න කියලා ඒ අම්මාලා කදුළු පිරුණු දෑසින් හුල්ලනවා ඔබ අහලා තියෙනවා ද ?
ඔබ අහලා ඇති, දැකලත් ඇති, කියවලත් ඇති, හැබැයි ඒ ගොඩක් වෙලාවට සුරංගනා කතා පොත් වගේ නවකතා වලින්, ඒත් විශ්වාස කරන්න.. ඒ වගේ ජිවිත මේ පුංචි ලංකාවේ දුෂ්කර ගම්මාන වල තවමත් හුස්ම ගන්නවා..
කහට පැල්ලම් වලින් කහ ගැහුණු සුදු ගවුමත් ඇදගෙන සුදු සපත්තු දෙකක් ගන්න සල්ලි නැති හින්දා කැඩුණු සෙරෙප්පු පටියට හර්න්ල් කට්ටක් ගහලා සෙරෙප්පුවට අමුණගෙන ඒ දරුවෝ හිමිහිට ස්කොලේ යනවා.. ඒ රට රාජ්‍ය වල ගිහින් ඉගෙන ගන්න හිතාගෙන නෙවේ.. බඩගින්නක් නැති දුප්පත්කමක් නැති හෙටක් වෙනුවෙන් ඉගෙන ගන්න ඕනි හින්දා.. එහෙම ස්කොලේ ගිහින් ඉගෙන ගත්තේ නැතිනම් ඔවුන්ට වෙන්නේ පාරේ හිගා කන්න කියලා ඒ දරුවෝ දන්නවා..
ඇති මිනිහාට ඉස්මුරුත්තාවට දෙන දෙවියොත් මොකක්දෝ ආරෝවකට ඒ දුප්පත් ජිවිත වලට අසරණකම මදි නොකියන්න දීලා තියෙනවා.. ඒ හින්දාම දවසේ පඩියට කුලී වැඩක් කරලා හම්බ කරගන්න සොච්චම් මුදල ගෙදර පොඩි එකෙක්ට පොතක් ගන්න නෙවේ ගෙදරට රෑට රොටියක් පුච්චන්න පාන් පිටි ටිකක් ගන්නවත් මදි.. හැබැයි ඉතින් එහෙම මදියි කියලා උද්ඝෝෂණ කරන්න ගියොත් ඒ අම්මලාට වෙන්නේ පස්සට වැදෙන පයින් පාරත් එක්ක කබලෙන් ලිපට වැටෙන්න.. එහෙම නැතිනම් වත්තේ ලොකු මහත්තයාගේන් පුංචි එකාගේ ස්කොලේට ඕනි පොත් ටික ගන්න රුපියක් සියක් ඉල්ලුවත් උන්නැහේ බෙරිහන් දෙන්නේ දුප්පතුන්ගේ දරුවෝ ඉගෙන ගෙන සිටුවරු වෙන්න ද කියලා.. දුප්පත්කමට අසරණකමට කරකියා ගන්න දෙයක් නැති උනාම ඇස් වලින් එලියට පනින්න දගලන කදුළු බින්දු එක්ක හෙමිහිට ගෙදරට ගාටන ඒ අම්මලා තාත්තාලා කාටත් නොපෙනෙන්න වත්ත පහලට ගිහින් ඉකි ගසා හඩා වැටුණු වාර අනත්තයි.
ඔවුන්ට තිබුණු අන්තිම බලාපොරොත්තුවත් හිදිලා ගියාම ස්කොලේ යන්න පොත් ටික ගන්න සල්ලි නැති උනාම ඒ දරුවෝ අම්මලා තත්තාලා දුක් විදිනවා බලන්න බැරි කමට ගාමන්ට් එකට කොහු මෝලට ගල් වලට හේනට වැඩට යන්නේ කැමත්තෙකින් නෙවෙයි. ඉගෙන ගන්න තියා ගෙදර අයගේ බඩ පුරවා ගන්නවත් සල්ලි නැති හින්දා..
හැබැයි එයාලට උදව් කරන්න කෙනෙක් උන්නා නම් ?? එයාලට පොත් පෑන් ටික අරන් දීලා ඉගෙන ගන්න දිරිගන්වන්න කෙනෙක් උන්නා නම් ?? එහෙනම් ඒ ජිවිත ගොඩක් වෙනස් වේවි නේද ? හැම පැත්තෙන්ම බැට කාලා තැලිලා පොඩි වුන ඒ අහිංසක දරුවන්ට එක ඉහටත් උඩින්.. සමහර විට ඔබ ඒ පුංචි ජිවිත වලට උදව් කරන්න තීරණය කරොත් ඒ ආදරය, ඒ පරිත්‍යාගය ඒ පුංචි සිත් වලට මුළු ජිවිතයම වේවි.
විශ්වාස කරන්න.. ඔබ ඒ දරුවන් වෙනුවෙන් වැය කරන පුංචි මුදලකින් සුළු මොහොතකින් ඒ දරුවන්ගේ මුළු ජිවිතයක්ම වෙනස් කරන්න පුළුවන්. සමහර විට හේන් කුඹුරු අස්සේ වේලිලා පස් අස්සේ හැංගිලා යන්න ගිය ජිවිතයක් ඔබ කරන උදව් උපකාර නිසාවෙන් මතු දිනක ජීවිතය ඉතා සාර්ථක කරගත්තු දරුවෙකු ලෙසින් ඔබ හොයාගෙන ඇවිත් ස්තුතියි කරාවි..
හිතන්න, නිෂ්පල දේවල් වලට ඔබ වියදම් කරලා ලබන සතුටට වැඩිය ඒ වගේ පුංචි ජිවිතයකට උදව් කරලා ලබන ආත්ම තෘප්තිය, ඒ සතුට සදාකාලිකයි නේද ?
අපි කවුරුත් මේ ලෝකේ සදාකාලිකව ජිවත් වෙන්න ආව මිනිසුන් නොවන බව ඔයයි මමයි දෙන්නම දන්නවා. ඉතින් කවදා හරි ජිවිතයේ සෑදෑ සමය ගෙවන කාලෙකදී අපිට ඉතුරු වෙන්නේ අපි ජිවිතේ හරි හම්බ කරපු වස්තුව දේපල නෙවෙයි.. මැරෙන මොහොතේදී වුනත් සතුටින් මේ ලෝකේ දාලා යන්න අපිට උදව් වෙන්නේ අපි මේ ලෝකේට සේවයක් කරා නේද දුප්පත් ජිවිතයකට ආලෝකමත් වෙන්න උදව් කරා නේද කියන ඒ සතුට.. එය ඔබත් මාත් දන්නා කවදා හරි අත්දකින සත්‍යයක්..
හැබැයි මේ කොයි දේ කරන්නත් අපි හැමදාම හිත හිත ඉදලා හරියන්නේ නැහැ.. ඉතින් ඒ නිසාමයි IMCD ( http://www.imcds.org/ ) අපි දුප්පත් දරුවන්ගේ ජිවිත එලිය කරන්නට මුල් පියවර තැබුවේ. ඒ මිට අවුරුදු අවුරුදු 4කට කලින් 2012 මාර්තු මාසේ දී. උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් පිරිසක් එකතු වෙලා අපි IMCD නිර්මාණය කරේ අධ්‍යාපනය ලබන දරුවන් වශයෙන් අපිට ඔවුන්ගේ හදගැස්ම තේරුම් ගිය හින්දායි. එදා ඉදන් ගෙවී ගිය අවුරුදු 4ක ගමනේ දී අපි ලක්ෂයකට අධික පාසල් සංඛ්‍යාවකටත් දුප්පත් අසරණ දරුවෝ විශාල පිරිසකගේත් ජිවිත එලිය කරේ ඔබේ සහයෝගයත් සමගිනි. ඒ ගැන අපට ඇත්තේ නිර්ලෝභී ඔබ කෙරෙහි වූ ස්තුතිපුර්වක හැගීමක් සහ ඔබ පිළිබද වූ විසල් ආඩම්බරයක්. සැබවින්ම මේ සියල්ලෙන්ම අප හට දායාදව ඇත්තේ විසල් ආත්ම තෘප්තියත්. එය ඔබ නිසාවෙන් අප ලැබූ විශාලම දයාදයි.
ඉතින් ඔබටත් පුළුවනි තව තවත් ජිවිත එලිය කරන්නට අප හා එක් වන්න. ඉතින් අපිට කතා කරන්න,, පුංචි දරුවෙකුගේ ජීවිතය ගොඩ නගන්න ඔබට පාර කියා දෙන්න අප සුදානම්. අප හෙට දවසේ පුදින්නට බලා හිදින මල් කැකුළු නියෝජනය කරමින් ඔවුන්ට සවියක් වන්නට ඔබට ඇරයුම් කරමු.
ඉතින්, එන්න, අසරණ දුප්පත් දරුවන්ට ජිවිත ගොඩ නගා ගන්නට පියවර තනන්නට.. අපි ඔවුන්ට නිවී නිවී දැල්වෙන ලාම්පු දැල්ලක් නොවෙයි.. සෞම්‍ය සද එළියක් වෙමු.. නිදහසේ සිත පුරා ඉතුරුණු සතුටින් හෙට ලෝකය දින්නන්ට ඔවුන්ට ශක්තියක් වෙමු. මේ ජීවිතයේ අරුත ඇත්තේ, හුස්ම වැටෙන්නේ එතනයි.
අපේ මිලග නැවතුම : https://www.facebook.com/events/1325757014108335/



  • Left
  • Centre
  • Right
Remove
click to add a caption

http://takas.lk/tag/product/list/tagId/119/?dir=asc&mode=grid&order=name
  • Left
  • Centre
  • Right
Remove
http://goo.gl/forms/8o1Ll8zu2k


IMCD අපි ගැන විස්තර දැන ගන්න
* http://imcds.blogspot.com/
* http://www.imcds.org/
* https://www.facebook.com/profile.php?id=111755202307509
ඉතින් ඒ දරුවෝ වෙනුවෙන් අපිට කතා කරන්න..
මරිනෝ - (077) 900 6742
නෙත්මිණි - (077) 123 4891
ක්‍රිෂාන් - (0 77) 824 9689
ඉෂාරා - (071) 886 7860
අශාන් - 077 459 2275




සටහන : අරුණි කළුපහන