Showing posts with label Amuzed. Show all posts
Showing posts with label Amuzed. Show all posts

Monday, May 4, 2015


ආදරෙන් ළඟට අරන්
කතන්දර කියල දෙන්න
අප්පච්චි ළඟ නැතිවුනත්;
අතින් අල්ලගෙන ඇවිදින්න
ලෝකේ ලස්සන පෙන්නන්න
අම්මා ළඟ නැතිවුනත්;
ආදරෙන් පිරුණු මේ ලෝකේ
පුංචි අපි තනිවෙලා නෑ...

Monday, July 21, 2014

මල් වගේ පුංචි දරුවෝ කොයි කවුරුත් එක වගේ.. ජාතිය ආගම මොකක් වුනත් ඔවුන් ලෝකය දකින්නේ එක විදියට.. ඔවුන්ගේ අහිංසක හිනා රැල්ලෙන් ලපටි ඇස් වලින් විහිදෙන එළියෙන් ඔවුන් ලෝකය බබලනවා.. පුංචි දරුවෝ කියන්නේ මනුෂ්‍යත්වයට  යන පාර කියන දේව දුතයන් වගේ.. 

ඔබ ගොඩක් දුකින් එහෙම නැත්තම් තරහෙන් ඉන්න මොහොතක පුංචි දරුවෙක් ඇවිත් ඔබ එක්ක කතා කරපු හිනා වුන මොහොතක් ඔබට මතකද ?? ඔබේ තරහාව දුක ඔබට අමතක වුනා නේද ඔවුන් ඉදිරියේ.. ඔබේ හිතට සැනසුමක් දෙන්න ඒ පුංචි හිත් වලට පුළුවන් වුනා නේද..  මේ විශ්වයේම සතුට සැනසුම රැදිලා තියෙන්නේ පුංචි දරුවන් අතේ යි කියලා අපි කියන්නේ අන්න ඒ නිසයි..

හැබැයි හෙට දිනයේ පිපෙන ඉන්න මේ ලපටි මල් කැකුළු වලට හයියක් ඕනේ මයි..  ඒ ඔවුන් මහා ගසක් තරම් ශක්තිමත් නොවෙන නිසාවෙන්.. අනාගතයේදී දවසක ඔවුන් මහා වෘක්ෂයන් ලෙසින් මේ මහා පොලව මතම කලඑළි බසිවී..  ඒත් ඒ දවස එනකම් ඔවුන්ව රැකබලා ගන්නේ කවුද ???  එතකොට කෙනෙක් කියාවි.. ඒකට තමා අම්මයි තාත්තයි ඉන්නේ කියලා.. 

ඔව් ඒක ඇත්ත.. අම්මයි තාත්තයි අපට උණුහුම දීලා අපි ශක්තිමත්ව අපේ දෙපයින් හිට ගන්න පුළුවන් වෙනකම් අපිට හවුහරණක් වුනා තමයි.. ඒත් අම්මා තාත්තා නැතිව ලෝකේ අසරණ වුන දරුවන්ට ඒ විදියට අත දෙන්න කවුද ඉන්නේ ??? ඔවුන් සාමාන්‍ය විදියට මවුපියන් එක්ක හැදෙන දරුවෙක්ට වරප්‍රසාද හම්බෙන්නෙත් නැහැ..  ඒත් ඒ අහිංසක පුංචි දරුවන්ටත් හයියක් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ නේද??? 

අන්න ඒ නිසයි IMCD , Amuzed Team එකේ අපි ඔබවත් එකතු කරගෙන ඒ වගේ අහිංසක පුංචි දරුවන්ට හයියක් වෙන්න හිතුවේ..  ඉතින් ඒ වගේ අසරණ අහිංසක පුංචි ලපටි මල් කැකුළු හොයාගෙන අපි ඊළගට පියවර තියන්නේ රත්මාලන , මාලිගාව පාරේ . අංක 98 දරණ ස්ථානයේ පිහිටි පුංචි පිරිමි දරුවන් රැසකගෙන් සමන්විත නිවසකටයි.. 

ඒ ජුලි මාසේ 29 වෙනිදයි.. එදා දවස ( ප.ව 2.30 ඉදන් 9.00 වෙනකම් ) ඔවුන් එක්ක ගත කරලා ඔවුන් ව සතුටින් තියන්නයි අපේ වෑයම...  හැබැයි අපි ඔවුන්ව බලන්න යන්නේ හිස් අතින් නම් නෙවේ.. ඔවුන්ට අවශ්‍යම කරන දැනට අඩු පාඩු ලෙසින් පවතින දේවල් රැසක් අරගෙන යි.. 

ඉතින් මේ සියලු දේට පුංචි දරුවන්ට ආදරේ කරන ඔයාලටත් දායක වෙන්න පුළුවන්.. ඒ මෙන්න මේ විදියටයි.. 

ඔයාලත් ඒ අසරණ පුංචි ළමයින් එක්ක කතා කරන්න එයාලාට ශක්තියක් වෙන්න , එයාලා එක්ක දවස ගත කරන්න අපිත් එක්ක එන්න කැමති නම් මෙන්න මෙතනින්   ඒ විස්තර අරගෙන සම්බන්ද වෙන්න පුළුවන්.. 

එහෙම නැත්තම් ඒ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න පරිත්‍යාග ලබා දෙන්න කැමති නම් මෙන්න මේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කරන්න පුළුවන්... 

International Movement for Community Development
People's Bank
First City Branch
Savings Account
046-2-001-9-0004462

Or 
International Movement for Community Development
Sampath Bank 
City Office 
Savings Account
100 161 000 380

ඒ වගේම facebook event ඒකට එකතු වෙන්න  මෙතනින් එන්න  

" එන්න යන්න අපිත් එක්ක , අසරණ මල් කැකුළු වලට පාර කියන්න.. " 

ප.ලි - මිට අමතරව වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් Zulaikha 072 787 2322 /  Upul 077 251 7512 හරි එහෙම නැත්තම් IMCD , Amuzed Team එකේ අපි කාගෙන් හරි ඔබට වැඩි විස්තර දැන ගන්න පුළුවන්..



Friday, February 7, 2014

අපේ ළමයි !!!

                                 
                                               

                                                     පවුලකට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ මුළු පවුලෙම බලාපොරොත්තු ලියලන්නෙ ඒ දරුවා වෙනුවෙන්.හෑම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම පැතුම නීරෝගී දරු උපතක්.එහෙත් දෛවයේ සරදමකින් උපදින දරුවා ශාරීරික හෝ මානසික අතින් වෙනස් කෙනෙක් වුනොත් දෙමාපියන්ගේ හිතේ පත්තුවෙන ගින්දර හදුනන්නෙ ඒ අත්දැකීමට කලින් මුහුනදීල තියෙන කෙනෙක් විතරයි.

                           

                              අඹේපුස්ස ,බෝතලේ පදිංචි වෙලා ඉන්න තිලකරත්න යුවල ගෙවුනු අවුරුදු 22 පුරාවට මේ අත්දැකීමත් එක්ක ජීවත් වුණ දෙදෙනෙක්.ඒ වගේම අපේ බොහෝ දෙමාපියන්ට ආදර්ශයක්.තමන්ට ලැබුණු දරුවව මහපාරට ,රේල්පාරට ,මුහුදට විසිකරලා තමනුත් දිවි හානි කරගන්නැතුව ජිවිතයට ශක්තිමත්ව මුහුන දෙමින් රටට බරක් නොවන දරුවන් බිහිකරන්න අපේ ළමයි ළමා නිවාසය ගන්න වෑයම එතනට යන කාගේත් දෑස් තෙත් කරනවා.

                                         
                                 අද විශ්වත් එක්ක එයා වගේම නංගිලා මල්ලිලා 22 දෙනෙක් ජීවත්වෙන හැටි ඉගෙනගන්නවා .ඔවුන්ගෙ දෙමාපියන්ගේ  හිතේ හයියෙන් , මහන්සියෙන් ගොඩනැගුන මෙතන මුළුතැන්ගේ පටන් ගෙමිදුල දක්වා අඩුපාඩු බොහොමයි.ඒත් ඔවුන්ගේ අධිෂ්ඨානයේ නම් අඩුවක් නැහැ.



                                   මේ පාර Amuzed  එක්ක අත්වැල් බැදගෙන මාර්තු මාසෙ 8 වෙනිදා ඔවුන්ට සතුට අරන් ගිහින් , කෑමවේලක් බෙදාගෙන ,ඔවුන්ගෙ අඩුපාඩු හැකි උපරිමයෙන් පිරිමසා දෙන්නයි අපේ සූදානම.
                                  
                     අපිට ඕනි ඒ බලාපොරොත්තුවෙ සතුට ඔබත් එක්ක බෙදාගන්න . රටට බරක් නොවන දරුවන් තනන්නට උත්සාහ ගන්න ඔවුන්ගෙ හිතේ ගින්දර ටික දවසකට හරි නිවලා එන්න.ඹබේ උපන්දිනය ,විවාහ සංවත්සරය ඔවුන් එක්ක එකතුවෙලා සමරන්න ඔබත් කැමතිනම් ,එහෙම නැතිනම් මහන්සිගෙන් උපයන මුදලින් කොටසක් ඔවුන්ගේ දුක නිවන්න දායක කරන්න කැමතිනම් අපිව අමතන්න .ඔවුන්ගේ සතුටු සිනා වල ඔබත් හිමිකරුවෙක් වනවා නොඅනුමානයි.

වැඩි විස්තර සදහා විමසන්න

හසාරා 0775275080
සචිත්   0773852970
ප්‍රභානි  0717169639

නැතිනම් මේ සත්කාරයේ වටිනා දායකයෙකු වන්න


                                                                                 

                                                සැකසුම :හසාරා තෙන්නකෝන්





Tuesday, February 4, 2014

සිනා බෝ වේවා !!!

මහ පොලවේ පය ගහල ඉන්න අපි හැමෝම විදින්නෙ එකම සුසුම , හැම නහරකම ගලන්නෙ එකම රුධිරය . දුප්පත් පොහොසත් ජාති ආගම් කුලමල බේදයක් නැතිව හිනාවෙන්නෙ සතුටට.ඒත් මේ හිනාවෙන මිනිස්සු දිහා බලාගෙන කදුළු හලන ,හිතින් විදවන නොටසකුත් අපි අතර ඉන්නවා.ජීවිත කාලයම රෝදපුටුවකට වෙලා ඉන්න වුනොත් , ලෝකයේ ලස්සන තමන්ගෙ දෑස් දෙකෙන් බලාගන්න බැරි වුනාම , තමන්ටම කියලා   දරුවෙක් හිටියත් නන්නාදුනන පිරිසක් මැද්දට වෙලා ඉන්න ගියාම දැනෙන දුක අති මහත්.අපටත් අයිතියක් තියනවා ඔවුන් එක්ක එකතු වෙලා ඒ දුක බෙදාගන්න ඒත් හීන පස්සෙ දුවල හතිවැටුනු අපේ හිතට ඒ දුක දැනෙන්නවත් වෙලාවක් නැතිවෙලා.

IMCD ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස AMUZED ආරම්භ වන්නේ මේ ගැටළුවට ව්සදුමක් හොයාගෙන .ඒ අපි මහමෙරක් ලෙස සලකන සල්ලි වලට වඩා ආදරය , කරුණාව ,රැකවරණය අගය කරන මින්සුන් සමග සිනහව බෙදාගන්න. ඒ අයට ආදරයත් තවත් තෑගි භෝගත් පොදිබැදගෙන දිවයිනේ විවිධ පලාත් වල වෙසෙන නංගිලා මල්ලිලා ,අක්කලා අයියලා ,සීයලා ආච්චිලා මුණගැහිලා ඔවුන්ගෙ අඩුපාඩු අපට හැකි උපරිමයෙන් පිරිමසා දෙන්නත් ,ඔවුන්ගේ මුවගට සිනාවක් දෙන්නත් අපේ ව්‍යාපෘතිය ආසාවෙන් බලාගෙන ඉන්නවා.



අපිත් එක්ක ඒ සතුට බෙදාගන්න ඔබත් කැමතිනම් අපහා එක්වන්න .තමන්ගෙ උපන්දිනයේදී , ජීවිතයේ විශේෂ අවස්ථාවකදී යාළුවෝ පිරිවරාගෙන කාල බීලා සතුටු වෙන අවස්ථාවකට වඩා මෙවන් මොහොතකින් ලැබෙන අත්දැකීම ඔබව හැමදාකම සොම්නසින් තබාවි .සත්තයි.

අමතන්න අපිව
හසාරා : 0775275080
අමිල    :0777713088
                                             සැකසුම: හසාරා තෙන්නකෝන්

Wednesday, January 1, 2014

සතුටු කඳුළු - Christmas To Remember




“මගේ නත්තල දුගියා බත් කන දාය” ගරු මර්සලින් ජයකොඩි පියතුමා ඒ විදිහට නත්තලේ උතුම් අරුත අපිට පැහැදිලි කළා. නත්තල විතරක් නෙවෙයි අපේ ජිවිත වලට සැබෑ අරුතක් එකතු වෙන්නෙත්, අපි ජිවත් වෙනවා කියලා දැනෙන්නෙත් සමාජයට දැනෙන දෙයක් කලාම.
 
පහුගිය දෙසැම්බර් 28 වෙනිදා අපි ආයේ එකතු උනා. IMCD, Youth Fest Sri Lanka එකතුවෙලා ලෝ පුරා පැතිරී ඉන්න දානපතීන් එක්ක එකතු පහදු වෙලා අපි තීරණය කළා හැමදාම මතක හිටින නත්තලක් අපේම සහෝදර පිරිසකට තිලිණ කරන්න. “Christmas To Remember”; IMCD Amuzed ව්‍යාපෘතියේ දෙවැන්න ඒ විදිහට හරිම අපූරුවට කළුතර මාක් ශ්‍රී අසරණ සරණ නිවාසයේ දිග හැරෙන්නේ අන්න ඒ විදිහට.

මාක් ශ්‍රී අසරණ සරණ නිවාසයේ ඉන්නේ අපි වගේම මිනිස්සු. ලෝ දහමේ සරදමකට වගේ ඒ අය අසරණ වෙලා. සමහර අය උපතින්ම ආබාධිත වෙලා. ඒ නිසා සමාජයෙන් කොන් වෙච්චි අපේ අය හොයාගෙන අපි ගියා. හිස් අතින් නෙවෙයි. තෑගී බෝගත් අරගෙන.

මාක් ශ්‍රී නිවාසයට ගිය අපේ කට්ටිය මුලින්ම කොසු ඉදල් එහෙම අරගෙන ලස්සනට ඒ වටපිටාව පිරිසිදු කළා. පිරිසිදු කරන ගමන්ම අපේ තවත් කට්ටියක් දවල් කෑම පිළියෙළ කළා.

  මේ වැඩ කටයුතු යන අතරේ අසරණ සරණ නිවාසේ අපේම අය එක්ක පුංචි කතා බහක යෙදෙන්නත් අපි අමතක කලේ නෑ. සමහර අය මනසින් වැඩිලා නැති උනාට ආදරය කරුණාව වගේ උත්තම මිනිස් ගුණ ධර්ම ඒ අය අස්සේ හැංගිලා තිබ්බා. ඒ නිසාම තමයි තමන් එක්ක එකට ඉන්න අත පය වලංගු නැති සහෝදරියට නැත්නම් සහෝදරයාට කවලා ඊලඟට තමන් කෑම පත අතට ගන්න ඒ අය ඉදිරිපත් උනේ.

හරි ආසාවෙන් ඒ අය කෑම කෑවා.. හිනාවුනා. 

නත්තල හරිම අපූරු මිහිරියාවක් එකතු කරන කැරොල් ගී ප්‍රසංගයක් තියන්න අපේ අය ලක ලැස්ති වෙලා තිබ්බා. හරිම අපූරුවට මාක් ශ්‍රී නිවාසේ පුංචි අයත් අපිත් එක්ක කැරොල් කිව්වා. නත්තල් සීයා තෑගී අරගෙන ඒ අය බලන්න ආවා.

ඒ අය නැටුවා. හිනා උනා. අපිත් හිනා උනා. 

කඳුළු එනකම්ම... ඒ සතුටු කඳුළු.....



ආයේ 2014 මාර්තු 8 මේ වගේම වැඩක් කරන්න IMCD අපි හිතාගෙන ඉන්නවා.. මොකද කියන්නේ. උපන්දින උත්සව.. ජිවිතේ පුංචි පුංචි සැමරුම් වලට අපි හැමදාම වියදම් කරන දෙයින් තවත් අපේම කෙනෙක්ට හිනා වෙන්න උදව්වක් කරමුද?  

Sunday, October 13, 2013

"අපි කාගෙත් හිත් වල හීන ගොඩාක් තියෙනවා. අපි හැම කෙනෙක්ම හීන දකිනවා. ඒ හීන හැබෑ වෙන දවසක් එන කල් අපි බලාන ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒ හීනයක් හැබෑ නොවුණොත්, එහෙමත් නැත්නම් අපි දැක්ක ඒ හීන ලෝකෙ අපි බලන් ඉද්දිම කඩන් වැටුණොත් .....  අනිවාර්යයෙන්ම ඇස් වලට කඳුළු පිරෙනවා." මේ මගේම IMCD සොහොයුරෙක් එක් Needy Readers වැඩ සටහනකදි හීන ගැන කිව්ව හැටි. ඔව්, ඒ කතාව ඇත්ත. අපි හැමෝම හීන දකිනවා. ඒ හීන හැබෑ වුණොත් අපි සතුටු වෙනවා, ටිකක් නෙමෙයි ගොඩක් සතුටු වෙනවා. හීනයක් බොඳ වෙලා යද්දි අපි සමහරු කෑ ගහලා අඬනවා. තවත් අය නිහඬවම කඳුළු සලනවා.

අද මේ කියන්න යන කතාවෙ ඉන්නෙ අපි වගේම පිරිසක්. නමුත් ඔවුන්ට අපේ ලෝකය විතරක් නෙමෙයි අපි දකින හීනවත් දකින්න ඉඩක් නැහැ. මේ කතාවට ඔවුන් සම්බන්ධ වෙන්නෙ අපූරු විදිහකට. වසරකට වරක් අපි කොයි කාටත් උදා වෙනවා විශේෂ දවසක්. දුප්පත් පොහොසත් ළමා වැඩිහිටි හැම කෙනෙක්ටම. ඒ තමයි උපන්දිනය. කොයි තරම් නැති බැරි වුණත් පුළුවන් කමක් තියෙයි නම් වෙනදට වඩා විශේෂ කෑමක් බීමක් හරි තමන්ගේ දරුවට හදලා දීලා පුංචිවට හරි උපන්දිනේ සමරන්න හැම දෙමව්පියෙක්ම හීන දකිනවා.

ඉතින් ඒ වගේම තමයි මේ IMCD පවුලත්. මේ අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා ටික නම් කාගේ හරි උපන් දිනයක් නම් එයාට සුබ පතලා විතරක් නම් නතර වෙන්නෙ නැහැ. පොඩිවට හරි සාදයක් පවත්වලා කාලා බීලා සතුටු වෙන එක පුරුද්දක්. ඔහොම යන කොට ආව අපූරු යෝජනාවක්. පුංචි හරි සාදයකට මුදල් වැය කරනවා වෙනුවට ඒ මුදල අපට වඩා සතුට ගොඩාක් අවශ්‍යම කෙනෙක්ට දෙන්න වියදම් කරමු කියලා. පුදුම වෙන්න දෙයක් නැහැ....... මේ සංවිධානය හදා ගෙන තියෙන්නෙ අපට අඩුවක් නැතිව තියෙන දේවල් ඒවා නැතිව ලැබෙන දවසක් එනකල් හීන දකින තවත් දරුවන් පිරිසක් එක්ක බෙදා හදා ගන්න කැමති පිරිසක් එකතුවෙලානෙ.

ඉතින් ඔන්න ඒ යෝජනාව දැන් ක්‍රියාත්මක කරන්නයි අපේ කට්ටියගේ සූදානම. සැප්තැම්බර්, ඔක්තෝබර් මාස වල උපන්දින සමරපු අපේ යාළුවො වෙනදා වගේ සාද වලට මුදල් වියදම් නොකර ඒවා එකතු කරලා හැදුවා පුංචි අරමුදලක්. දැන් ඊළඟට මොකක්ද මේ මුදලින් අපේ කට්ටිය කරන්න යන්නෙ?

ඔන්න හැමෝම එකඟ වුණා මේ මුදලින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉන්න නිවාසයකට ගිහින් ඔවුන් සමඟ දවසක් ගත කරන්න. අපේ ලෝකයෙන් දවසක් ඔවුන් එක්ක බෙදා ගන්න. ඉතින් එදාට ඒ කියන්නෙ ලබන ඔක්තෝබර් 18 වැනිදාට අපි යනවා ඒ ළමා නිවාසයට. ලොකුවට සාද පවත්වලා උපන්දිනය සමරනවා වෙනුවට ඔයලාට වුණත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපිට වගේ උපන්දිනයක් සමරන්න, ඔවුන් මෙලොවට බිහි කරපු අම්මා තාත්තාවත් ළඟ නැතිව, හීනයක් දකින්නවත් ඉඩක් නැති ඒ පුංචි හිතකට සතුට බිඳක් තුරුලු කරලා එන්න පුළුවන් වුණොත් ඒ සතුට දවසක් දෙකක් නෙමෙයි ජීවිතේ පුරාම අපිත් එක්ක තියේවි.

Let's make them SMILE - Donor Information - Form
මෙන්න මේ යොමුවෙන් ගිහින් ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතුවෙන්න. පුංචි හිතකට සතුට බිඳක් හරි දීලා ලබන උපන්දිනය සුවිශේෂී එකක් කර ගන්න.