Thursday, June 8, 2017

එන්න හීන වලට පණ පොවන්න

දිගු කලක් තිස්සේ පැවති මහා නියගයකින් පසු පොළෝ තලය මතට ඇද හැලෙනා පළමු වැහි දිය පොද හෙවත් අක් වැස්සකින් කෙතරම් සිත් නිවේවි ද සැනහේවිද.. කාශ්ටක ගිනියම් අව්වත් සමගින් පොර බදා හෙම්බත් වන මිනිසුන්ට ජිවිතය කෙතරම් කටුක වුවත් ජිවිතය හැර දා පලා යා නොහැකියි. ඒ උරුමය යැයි කියා සුසුමකින් ලය සනසා ගන්නවා මිසක හිස් අහස දෙස බලා වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කර දිය පොදක් අයදිනවා මිසක ඔවුන් වෙන කුමක් නම් කියා කරන්න ද..

නාගරික ලෝකයෙන් ඈත්ව නොයිදුල් අහිංසක ලෝකයක හුස්ම ගන්නා කුඩා දරුවන්ගේ ජීවිත ද එසේමයි. ජිවිතය කෙතරම් නියං සායෙන් පිරි ඉතිරි ගිය ද ළපටි වන මල් කැකුළු කෙසේ හෝ පිපෙන්නට හීන දකිනවා. කුස්සිය මුල්ලේ තම්බා ඇති දෙයක් කුසගින්න නිවාගන්නට බඩට දා ගන්නා ඔවුන් කහට පැල්ලම් වැදී දිරාපත් වු පාසල් නිල ඇදුම් හැද පොත් පැන්සල් ද රැගෙන පාසල වෙත දිව යන්නේ අකුරක් හෝ ඉගෙන ජීවිතය දිනීමේ ආසාවෙන්. බාටා කෑලි දෙකක් හෝ ඇගිලි එලියට පනින ඉරි ගිය සපත්තු ද පය ලා පාසල් යන දරුවන් තවමත් අරුමයක් නෙවෙයි.

ජිවිතේ දුෂ්කරතම අගාධයේ හිදින ඔවුන්ට ජිවිත ජය ගත හැකි එකම මග අධ්‍යාපනයයි. ඉතින් නිවී නිවී ගැස්සෙන කුප්පි ලාම්පු එළියෙන් අකුරු වනපොත් කරනවා මිසක කුලී වැඩට ගොස් ජීවිතය කාලයම ලේ දහඩිය එක්ක දුක් විදින්නට ඔවුන් කෙසේ හීන දකින්න ද ?

අසරණ දුගී දුප්පත් දරුවන් ලෙස ඉපිද විටෙක ඉගෙන ගන්න මුදල් සොයා කුලී වැඩට අත් උදව් දෙන්නට දරුවන්ට ද යන්නට සිදු වෙන අවස්ථා ඕනි තරම්. නමුත් එසේ ඈත දුෂ්කර ගම් වල හිද දහසකුත් බාධක මැද ජිවිත දිනා උසස් අධ්‍යාපනය ලබන්නට සරසවියට එනෙනා සිසුන් ද ඕනි තරම්. නමුත් එසේම අකුරක් ඉගෙනීමට අවශ්‍ය පොත් පෑන් පැන්සල් ඇදුම් පැළදුම් ගන්නට අතේ සොච්චමක්වත් නැතිව තරගකාරී අධ්‍යාපන රටාව එක්ක ඔට්ටු වෙන්න දැනුම සපයා ගන්නට පොත් පත්තර නැතිව සිය අධ්‍යාපනය අත හරින්න ට වන දරුවන් ද අනන්තයි අප්‍රමාණයි. දුක් විද හෝ මව්පියන් හා එක්ව කුලී වැඩට යන ඔවුන්ගේ අනාගතය ගැන වගකීමක් ගන්නට කවුරුන් නම් කියා හිදීවී ද ?
සියල්ල මෙසේ වන්න ට ඉඩ දී නිහඩ ව බලා හිදින්නේ කෙසේ දැයි කල්පනා කල සරසවි සිසුන් කිහිප දෙනෙකු එක්ව IMCD නමින් සංගමයක් පිහිටවා ගන්නේ මේ දරුවන්ගේ වෙනුවෙන් යමක් කරන්නට ඕනා වූ නිසාවට. IMCD යනු නිකම්ම නමක් ද නොවේ. සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (International Movement for Community Development) එහි අරුතයි. ජිවිතයේ දුක දන්නා නිසාවට අධ්‍යාපනයේ වටිනාකම දන්නා නිසාවට අසරණ දරුවන්ට හයියක් වන්නට සිතාගෙන ආරම්භ කල ද IMCD යනු මහා වත්කමක් ඇති තැනක් ද නොවේ. සරසවි අධ්‍යාපනය ලබන දරුවන් ලෙසින් තමන්ගේ ද එදිනෙදා වියදම් සොයා ගන්නා අතර තුරේ ම තැනින් තැන ඇවිද විවිධ පුද්ගලයින් හමුව එසේම හැකියාවන් තුලින් උපයා ගන්නා මුදල් ද එක්කර මේ දරුවන් වෙනුවෙන් ආධාර එක්කාසු කරනා IMCD සාමාජිකයින් ඊළගට ඈත දුෂ්කර ගම් දනව් හි හුස්ම ගන්නා අහිංසක දරුවන් සොයා යන්නේ පාසල් උපකරණ පොත් පත් ඔවුන් අවශ්‍ය බොහෝ දෑ සමගින් අරගෙන. ඒ පෙරලා කිසිවක් බලාපොරොත්තුව ද නොවේ.
අහිංසක මල් වැනි දරුවන්ගේ මුවග පිපෙනා මෙම සිනාවකින් පමණක් තෘප්තිමත් වන මෙම තරුණ පිරිස ගැන දිනමිණ y අපි ලියන්නට සිතුවේ ද ඒ නිසාවෙන්මයි.

ලක් දිව පුරා දහස් ගණන් පාසැල් වලට ආයතන වලට පුස්තකාල වලට ලක්ෂ ගණනින් පොත් මෙන්ම පාසල් උපකරණ ලබා ඇති මෙම තරුණ කැල 2012 වසරේ පටන් මේ ලෙසට සමාජ මෙහෙවරක නියැලෙන්නේ ඔවුන්ගේ ජිවිත වලද වූ දහසකුත් දුෂ්කරතා බාධක මැද්දෙයි. පොතක් දී අනාගතයක් එලිය කරමු ( DONATE A BOOK, LIGHT A FUTURE ) යන්න සිය තේමාව කරගත් ඔවුන් Needy Readers, Color a Dream, path to wisdom, My dream School, Amuzed , යනුවෙන් සිය ව්‍යාපෘති බෙදා වෙන් කර ඇත්තේ සිය සමාජ මෙහෙවර තව තවත් අරුත් ගන්වමින්. විටක සිය දැනුම අධ්‍යාපනය වැඩසටහන් තියමින් බෙදා දෙන ඔවුන් විටෙක සායම් මැකි බොද වී ගිය පාසල් කරා ගොස් ඒ පාසල් බිත්ති මත තීන්ත ගා පාසල් පුටු බන්කු ද වර්ණ ගන්වන්නේ දින දෙක තුන දුෂ්කර ගම්මාන වල කොහේ හෝ නැවතී හිදිමින්. වෙසක් අවුරුදු නත්තල් සැමරිය නොහැකිව හිදිනා අසරණ සිත් සොයා යන මෙම තරුණ පිරිස ඔවුන් සමගින් සතුටින් එකී උත්සව වැඩසටහන් සංවිධානය කරන්නේ මහළු වියපත් මෙන්ම අනාත දරුවන් අභිමුව ට ගොස් ඔවුන් නහවා කවා පොවා සනසන්නේ මේ අපේ ශ්‍රී ලාංකීය තරුණ පිරිසක් නේද යන ආඩම්බරයත් හැම හිතකට ම ගෙන දෙමින්.

කොළඹින් රෑ මැදියමේ එකට එකතුව පාසල් සොයා සිය ගමන ආරම්භ කරන IMCD සාමාජිකයින් විටක අවදිවන්නේ යාපනේ තල් ගස් ගස්සෙන් පොලවට වැටෙන හිරු රැස් සමගින්. එහෙමත් නැතිනම් උදේ පාන්දර මන්නාරමේ මුහුදේ ලුණු රසය එක්ක මුහුණට වැටෙන පිච්චෙන ගතියයි, අනුරාධපුරේ පදවිය වැනි දුෂ්කර පලාත් වල හැංගිච්ච කෑලෑබද ගමක මල් වල පුසුඹයි ඝන සැරේට මුහුණට වද දෙන දුවිහිලි සුවදයි එක්ක. ඈත කදු අස්සේ කම්මුල සීතලෙන් ගල් ගැහෙද්දී පාසල් සොයා ගියේ ද ඔවුන්මයි. හැබැයි කොයිතරම් ගමන දුෂ්කර වුව ද හැමදාම පුන්චී ඈයින්ගේ සතුට පිරිණු ඇස්, නොයිදුල් හිනාවන් හුරතල් කතා බහ අභිමුව හැම දුෂ්කරකමක් ම අමතක කරන IMCD තරුණ පිරිස් සිය කාර්ය මේ වන විට නොපිරිහෙලා ඉටු කරමින් හිදිනවා. කිසිවක් ආපිට බලාපොරොත්තු නොවී සිය ජීවිතයෙ තාරුණ්‍ය අසරණ සිත්වලට සිනාවක් දෙන්නට කැප කල ඔවුන් සැබෑවට මේ රටට ආඩම්බරයක්. ඔබටත් හැකියි ඔවුන් හා එක්ව අසරණ ජිවිත වලට හයියක් වෙන්න. අහිංසක ජිවිත එලිය කරන්නට උදව් වන්නට.

0774570889 – අමර් / 0777174993 - අරුණි / 0713687837 – තිමාලි

http://imcds.org/

සටහන - අරුණි කළුපහන

0 comments:

Post a Comment