Friday, September 27, 2013

IMCD තවත් ශක්තිමත් වෙයි

ඔබට ජිවිත කාලයටම සතුටු වීමට අවශ්‍ය නම් ඉදිරි පරපුරට සේවය කරන්න...”
මේ චීන කියමනක්....
ඕනෑම හොඳ දේකට හොඳ ආරම්භයක් අවශ්‍ය ය. සමාජය මඟින් සමාජය උදෙසා යන උදාරතර කර්තව්‍යය පෙරටු කරගෙන සමාජීය සංවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර එකමුතුව බිහිවන්නේ ඒ සංකල්පයේ ප්‍රතිපලයක් ලෙසයි.


විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ..එමෙන්ම විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන විද්‍යාර්ථයන් රැසකගේ ස්වෙච්චා දායකත්වය මත ක්‍රියාත්මක වන IMCD එකමුතුව ආරම්භයේ පටන්ම ක්‍රියාත්මක වුනේ සමාජයට අපෙන් ඉටු විය යුතු වගකීම් වලට අර්ථයක් ලබා දීමේ අරමුණින්.  

ඒ 2012 වර්ෂයයි. තරුණ ජවයෙන් හා නවමු අදහස් වලින් පණ ලැබූ ඒ උදාර IMCD එකමුතුව තම මංගල ව්‍යාපෘතිය ලෙස “Needy Readers” ව්‍යාපෘතියට මුල් අඩිතාලම දමන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිර සිටින කියවීමේ සා පිපාසාවෙන් පෙලෙන නමුත් පොත් පත් හිඟ ,දැයේ මල් කැකුළු වල මුව මඩල සිනහවෙන් විකසිත කරවීමේ පරමාර්ථය සිත් තුල දරා ගනිමින්.

තම නිවෙස් තුල එකතු වී තිබූ පොත් පත් එකින් එක එකතු කරමින් කුඩා ඉලක්කයක් කරා ගමන් කරන්නට බලාපොරොත්තුවෙන් ආරම්භ කලත් Needy Readers සුවිසල් කප්රුකක් සේ අතු පතර විහිදෙන්නේ ලංකාවේ හතර දිග් බාගයෙන් මෙන්ම ලොව දස දෙසින්ද ලැබුණු පරිත්‍යාගශීලීන්ගේ සතුටුදායක ප්‍රතිපල සමගයි. රාජගිරිය සිරිහද විද්‍යාලය, තුන්නාන ශ්‍රී සුමනජෝති විද්‍යාලය ඇතුළු පාසල් 12කට පමණ කියවීම් පොත් 1000 පමණ බෙදා දෙමින් ආරම්භ වූ Needy Readers සමාජ සත්කාරය අද වන විට පාසල්, දහම් පාසල්, හමුදා කඳවුරු ඇතුළු සමාජ 39 කට පොත් 24,000 කට අධික ප්‍රමාණයක් ලබා දෙමින් දැයේ නැණස පැදීමේ සත්කාරයට තම දායකත්වය ලබා දෙයි.

2013 වර්ෂයේ IMCD දෙවන ව්‍යාපෘතිය වශයෙන් “Path To Wisdom” වැඩසටහන ආරම්භ වන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව මාර්ගෝපදේශන වැඩසටහන් සංවිධානය කරමින්.එතෙක් නාගරික පාසල් වලට පමණක් සිමා වී තිබූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ අපි පැල්මඩුල්ල, ඔක්කම්පිටිය, බොරලන්ද ආදී දුර බැහැර ගම් දනව් වලටත් රැගෙන යන්නේ අසරණ දුවා දරුවන්ගේ මුවගට සිනහවක් කැන්දාගෙන ඒමේ අරමුණින්. 

ඒත් සමඟම ආරම්භ වන “Color a Dream” ව්‍යාපෘතිය මුල්‍යමය අවශ්‍යතා ඇති දැයේ දූ දරුවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පැවතීම සතුටට කරුණක්.

“කොළඹට කිරි ගමට කැකිරි” මිත්‍යාව දුරලමින් අපේ ගම්බද පාසල් වලට ආධාර ලබා දීමේ අරමුණින් ආරම්භ වූ  My Dream School - මගේ සිහින පාසලව්‍යාපෘතිය මේ වන විට මහ කනදරාව වම් ඉවුර යාය 1 විද්‍යාලයට ඉගෙනුම් ද්‍රව්‍ය ආදී පහසුකම් රැසක් ලබා දීමට පිඹුරුපත් සකසාගෙන යනවා.

මෙසේ ක්‍රියාත්මක වූ අපි නව පණක් ලබන්නේ 2013 සැප්තැම්බර් මාසයේදී IMCD ආයතනය සමාජ සේවා  ස්වෙච්චා  සංවිධානයක් ලෙස නීතිමය වශයෙන් ලියාපදිංචි වීමත් සමගයි.

“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි”
ප්‍රසිද්ධ ලේඛක ලියෝ ට්‍රෝස්තෝයි ඒ විදිහට සටහන් කළා... IMCD ආයතනය මතුවටත්...මතු මතුවටත් මේ සමාජ සත්කාර කරගෙන යාවි...ඉතින් අපිත් සමාජය උදෙසා අපෙන් ඉටු විය යුතුකම් ඉටු කරමු.  
     

Thursday, September 19, 2013

දිනය සැප්තැම්බර් 14, ස්ථානය Kandy City Center(KCC ) ,නුවරට එන වෙනදටත් KCC යට නොවරදවා ගොඩවෙලා යන්නේ අපි උවමනාවකටම නෙමේ,පුරුද්දට, ඇත්තටම ඒක අපිට පුරුද්දක් වෙලා,ඒත් එදා දවස ඊට ටිකක් වෙනස් මොකද උදේ රැයින් ඇහැරගෙන KCC යේ දොරවල් අරින්නත් කලින් ප්‍රධාන දොරටුව ඉස්සරහට ගිහින් හිට ගත්තේ වෙනදා වගේ පුරුද්දටම නම් නෙවේ, නමුත් හා හා පුරා කියල අපි කරන්නට යෙදුනු සුභ කටයුත්තක් වෙනුවෙන් ලක ලෑස්ති වෙන්න.ආයේ අටුවා ටීකා මොකටද මේ වෙන කිසි දෙයක් නෙවේ අපි අලුත පටන් ගත්ත IMCD මහනුවර පරිච්චේදයේ සුභ මොහොතින් ඇරඹුනු පළමු වෙන වැඩසටහන.දින ගනනාවක මහන්සියෙන් හැමෝම එකා වගේ වෙහෙසුනේ මේ දිනය උදාවනතුරු.ඉතින් මට පස්සේ අපේ පිරිසේ එක්කනා දෙන්නා කඩි මුඩියේ වැඩසටහන පටන් ගන්න තැනට ඇවිත් ඊට අවශ්‍ය සියලූ දේ සූදානම් කරා. අපි සිදු කරන්නට යෙදුනේ Needy Readers පිළිබඳ වූ ප්‍රචාරණ වැඩසටහනක්. මුලින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ හා මහනුවර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියගේ ප්‍රධානත්වයෙන් පුoචි උත්සවාකරයකින් KCC භූමි පරිශ්‍රයේ අපිට ලැබුනු කුටිය ඉදිරියේ පොල් තෙල් පහන දල්වලා ,අපේ කටයුත්තේ සමාජ මෙහෙවර පිළිබඳ කතා කිහිපයකුත් පවත්වලා මේ කටයුත්ත ආරම්භ කරා. 

එතනින් පස්සේ තමයි අපි හැමෝටම මහඟු කාර්‍යයක් ඉෂ්ට සිද්ධ කරන්න තිබුනේ. IMCD යේ අපි දියත් කරන ප්‍රථම හා ප්‍රධානම ව්‍යාපෘතිය තමයි Needy Readers කියන්නේ එමගින් අපි ලoකාව ඉගෙන ගන්න ආස නoගිලා මල්ලිලා ඉන්න නමුත් ඒ සඳහා එතරම් පහසුකම් නොවූ පාසල්වල පුස්තකාල වලට අවශ්‍යය පොත් පත් ලබාදෙනව.ඉතින් අපිට කොහින්ද මේ පොත්?? මේ වැඩේ පටන් ගන්නකොටම නම් අපේ සාමාජිකයන්ගේ ගෙවල්වලම තිබූ කලෙක අපි භාවිතා කළ කියවා රස විඳි තව දුරටත් යමෙකුට භාවිතා කළ හැකි පොත් පත් එකතු කරල එවා පරිත්‍යාග කිරීම සිදු කළා නමුත් එතනින් පස්සේ අපිට සිදු වුනේ මහජනතාවගේ සහය පතන්න,ඉතින් සල්ලි ඇති පරිත්‍යාගශීලී භවතුන් අපිට මුදලට අලුතින්ම පොත් අරන් දුන්නත් අපි තවමත් අපේ කටයුත්ත ඉදිරියට ගෙන යන්නේ අපි එකතු කරගන්නා වූ පරණ පොත් පත් වලින්, පරණ වුනත් යමෙකුට භාවිතා කළ හැකි පොත් පත්.ඉතින් මේ අපේ කටයුත්ත කොළඹ ප්‍රදේශයේ පිරිස් නම් දැන හඳුනගෙන ටික කාලයක්, කොළඹ වගේම මහනුවර ජනතාව අතරත් මේ කටයුත්ත ප්‍රචලිත කිරිමේ අදහස තමයි 14 වන දින එලෙස KCC යේදී සිදු කරන්නට යෙදුනේ.ඒ සඳහා අපිට KCC භූමි පරිශ්‍රය කිසිදු අය කිරීමකින් තොරව නොමිලේම ලබා දුන් බවද ඉතාමත් ගෞරවයෙන් යුතුව මතක් කරන්න ඕනි.එදා අපි Needy Readers පවුලේ හැමෝම වගේ එකතු වෙලා හිටියා, අපි ගැන විස්තර සඳහන් වූ මුද්‍රිත පත්‍රිකාත් අතැතිව අපි KCC යට යනෙන හැම කෙනෙක්ටම අපේ කර්තව්‍යය පිළිබඳ අදහසක් ලබා දෙන්න උත්සහ කරා. 


චේතනාව යහපත් වූ නිසාමත් අපේ පිරිසේ අපූරු සහයෝගය හා කණ්ඩායම් හැඟීම නිසාමත් එදා හිතට දැනුන සතුට මෙතකැයි කියා නිම කළ නොහැකි වුනා,ඇත්තෙන්ම මට නම් ඒක ජීවිතයට අලුත් අත්දැකීමක් වුනා.14 වන දින උදේ 9ට ඇරම්ඹි මේ කටයුත්ත හවස 4 වනතුරු පැවතුනා, ඒත් මෙය එක් දිනයකින් අවසන් වුනේ නෑ 15 වන දිනත් ඒ ලෙසම මේ කටයුත්ත කරන්නට යෙදුන. කිව යුතුම දේ නම් මේ දෙදින තුළ අපි බලාපොරොත්තු වූවාටත් වඩා වූ යහපත් ප්‍රතිචාර ඒ ආ ගිය සැවොමගෙන් ලැබීමයි.අපිට සහයෝගය දැක්වීමට ඔවුන් සතුව පවතින පොත් පත් අපට ලබා දීමට ඉදිරිපත් වූ පරිත්‍යාගශීලීන් බොහොමයක් වුනා.එපමණක්ම නොවේ මේ දෙදින තුළත් අපි නොසිතූ අන්දමින් පොත් පත් 1500කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාගයන් ලෙස ලැබුනු බව පැවසිය යුතුමය. 

එලෙස පොත් පරිත්‍යාග කළ අය අතර දැන් මෙය කියවන ඔබත් ඇති. ඉතින් ඔබට බොහොම ස්තූතියි. ඒ පොත් පත් සියල්ල අපි මහනුවර ප්‍රදේශයේ තොරාගත් පාසැල් පුස්තාකාල කිහිපයකට ලබා දෙන්න දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතිනව.ඒ ගැන වැඩි විස්තර ඉදිරියට අපි සඳහන් කරන්නම්කෝ. කෙසේ හෝ වේවා සැප්තැම්බර් 14,15 දෙදින අපේ ප්‍රචාරණ වැඩසටහන එසේ සාර්ථකව නිමාවට පත්වුනා, මේ සාර්ථකත්වය පසුපස අපට නොමසුරු සහයෝගය ලබා දුන් දෙපිරිසක් හිටිය ඒ එක් පිරිසක් තමා KCC කාර්ය මණ්ඩලය අනෙක් පිරිස තමා SINGER LANKA ආයතනය. ඒ දෙදින තුළ අපේ ප්‍රචාරක වීඩියෝ පට නොමිලේම ප්‍රචාරය කිරීමට KCC හි SINGER ශාඛාව ඉදිරිපත් වූ බව මහත් ගෞරවයෙන් මතක් කළ යුතුයි.

අපි මේ යන ගමන කුමන බාධක මධ්‍යයේ වුවත් ඉදිරියටම යන ගමනක්, ඒ බැව් කල්තියාම හඳුනාගත්තෝ බොහෝමයක් දැනටමත් ඇති බව අපිට උදව් කිරීමට ඉදිරිපත් වන ගුණ සුවඳ දත් මිනිසුන්ගෙන් පැහැදිලි වෙනවා ,

ඉතින් ඔබටත් පුළුවන් අපිට සහය ලබා දෙන්න, පොතක් පිරිනමා අනාගතයක් එළිය කරමු. පොත් පරිත්‍යාගයන් සිදු කිරීමට අමතන්න මා මිතුරු අශාන් (077)4592275 (මහනුවර) නැත්නම් උපුල් (077)2517512 (කොළඹ ප්‍රදේශයේ  ඔබ අපේ උපුල් අයියා අමතන්න ),අපි ගැන වැඩි විස්තර දැන ගැනිමට Needy Readers පිටුවට හෝ IMCD වෙබ් පිටුවට පිවිසෙන්න.ඔබ සැමට ස්තූතියි!!!


-රිද්මිකා ඉලoගසිoහ

Wednesday, September 11, 2013

                     

                       රටක් සංවර්ධනය කිරීමේ වගකීම වනාහී එකී රට පාලනය කරනා පාලන තන්ත්‍රයට සීමා වූවක් නොවේ. ඊට දායක වීම රටේ ජීවත්වන බාල තරුණ මහළු සෑම සියලු දෙනාගේම වගකීමක් ලෙස එය හැඳිනන්විය හැක. මෙහිදී රටේ ජීවනාලිය ලෙස අප රටේ තරුණ පරපුර හැඳින්විය හැක.
      
                                       
"රටක සමාජය වෙනස් කළ හැක්කේ එහි තරුණ පරපුරටයි."
                                                                                                          -ඒබ්‍රහම් ලින්කන්-

      ඉහත එක්සත් ජනපද හිටපු ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයෙන්ද කියවෙනුයේ තරුණ ජීවිත වල ඇති වටිනාකමය. රටක තරුණ පරපුර යනු එම මිහි මාතාවගේ  ගෙලෙහි බැබලෙන රත්‍රන් හරයක් හා සමානය.ඉතින් එය එසේ වන්නා සේම  අප දිවයිනේ අගනගරයේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක සිසුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් IMCD එනම් "සමාජ සංවර්ධනය උදෙසා වු අන්තර්ජාතික සහයෝගීතාව" ආරම්භ විය.
         
     දිනෙන් දින තරඟකාරී හා සංකීර්ණ වන සමාජය තුළ අගහිඟකමින් මිරිකි යන ළමා පරපුරර උදෙසා හැකි අයුරින් දායක වීම පෙරදැරි කරගනිමින් යහපැවැත්මෙන් යුතු සමාජ සංස්තාවක් බිහිකරනු වස් සරසවි සිසුන් කිහිප දෙනෙකුගෙන් ඇරඹි මෙම සහයෝගීතාව අද වන විට අප සමාජය සංවර්ධනය උදෙසා ව්‍යාපෘති කිහිපයකින් දායක වේ. එනම්
Needy Readers, Colour a Dream, Path to Wisdom යනුවෙනි. මෙකී ව්‍යාපෘති අතරින් Needy Readers ව්‍යාපෘතිය මේවන විට සීග්‍රයෙන් ප්‍රචලිත වන ව්‍යාපෘතියක් ලෙස ගෙනහැර දැක්විය හැක. පාසල් පද්ධතිය තුළ පොත්පත් හිඟකමකින් යුතු පුස්තකාල සඳහා පොත්පත් ලබාදීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරනු ලබන අතර මේවන විටත් අදියර කිහිපයකින් එය සාර්ථකවී ඇත.
      
      හංවැල්ල
,රාජගිරිය,රත්නපුර,නිවිතිගල,සඳලංකාව,පන්නල,ඉන්ගරදමුල,දෑල,බොරැල්ල ප්‍රදේශ වල පොත්පත් පාසල් හා පුස්තකාල සඳහා 12000 ට අදික පොත් සංඛ්‍යාවක් ලබා දුන් අතර පසුව ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේද අති සාර්ථක ලෙස පොත් පරිත්‍යාගයක් සිදුකළේය. අගනුවර සරසවි සිසුන් කිහිපයකගේ අප්‍රතිහත ධෛර්‍රයයෙන් ඇරඹි මෙම මෙහෙවර මේ වන විට දිවයින පුරාපිහිටි විශ්ව විද්‍යාල සිසුන් හා වෘත්තිකයන් දක්වා සාමාජිකත්වය විහිදී ඇත. එහි උච්චතම ප්‍රතිඵලයක් වනුයෙ IMCD Kandy Chapter නොහොත් සමාජ සංවර්ධනය උදෙසා වු අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ මහනුවර පරිච්ඡේදයේ ආරම්භයයි.  
    
        හන්තාන තුරුලිය ගොමුවෙන් වටවු ද මහවැලි නදියෙ සිහිලැල් දිය දහරින් හැඩගැන්වූ පේරාදෙණිය සරසවිය මුල්කරගෙන මහනුවර පරිච්ඡේදය ආරම්භ වූ අතර කොළොම්තොට සිටිනා ස්වකීය සහෘදයන්ගේ උපකාර සහ අභිසෙස් මද්‍යයේ ඇරඹි එය අද වන විට වටිනා මෙහෙවරකට උර දෙන්නට සැදී පැහැදී ඇත. එනම් මහනුවර පරිච්ඡේදයේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස
Needy Readers ව්‍යාපෘතිය සඳහා අවැසි පොත්පත් ලබා දීමේ වටිනා කර්තව්‍යයි.

        
ඇත්තා වූ දහසකුත් එකක් අධ්‍යාපන කටයුතු මද්‍යයේ මේවන විටත් සිය ප්‍රථම ව්‍යාපෘතිය, Kandy City Center  මුලික කරගෙන සැප්තැම්බර් 14 හා 15 යන දෙදින තුළ නිල වශයෙන් ඇරඹීමට කටයුතු යොදා ඇත. මෙදින IMCD යනු කුමක්ද? ඉන් සමාජයට ඇති ඵලදායිතාවය කුමක්ද? යන්න මහනුවර ප්‍රජාව දැනුවත් කරනු ලබන අතර ප්‍රධාන අරමුණ වන්නේ Needy Readers ව්‍යාපෘතිය පිළිබඳ මහනුවර ප්‍රජාව දැනුවත් කොට පොත්පත් ලබාගැනම ය. තරුණ පරපුර වෙනත් දුබල අරමුණු හොයා යන කලක මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සැබැවින්ම අගය කළ යුතු කරුණකි.

     නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගනිමින්  මේ භුමි තලයේ සිසුන් සියල්ල අනාගත පරපුර උදෙසා සිය යුතුකම් ඉටු කිරීම
වර්තමානයේ සේම අනාගතයේත් මේ ආකාරයෙන් සිදුකරයි නම් අනාගත ශ්‍රී ලංකාව කෙතරම් නම් සුන්දර වේද. ඉතින්  ඒ වෙනස සිදු කිරීමට අප සැමට හැකියාව ඇත්තේය. මහනුවර KCCයට පැමිණ පොතක් පිරිනමා අනාගතයක් එළිය කිරීමට ඔබ සැමට අවස්ථාව ඇත. අනාගත සමාජය යහපැවැත්මෙන් යුත් සුවදායි සමාජයක් කිරීමට අවශ්‍ය වනුයේ උත්සහය,උනන්දුව හා කැපවීම පමණි. ඉතින් ඊට අවැසි මුල් පියවර නිදහස් අධ්‍යාපනයෙන් ලොව ජයගත් සිසුන්ම තැබීම  සැබැවින්ම මනා පූර්වාදර්ශයකි.
                                                                   
                                                                     ඔබ සැමට ජය!
                                                               -නාලක ප්‍රභාෂ් දසනායක-