Sunday, October 13, 2013

"අපි කාගෙත් හිත් වල හීන ගොඩාක් තියෙනවා. අපි හැම කෙනෙක්ම හීන දකිනවා. ඒ හීන හැබෑ වෙන දවසක් එන කල් අපි බලාන ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒ හීනයක් හැබෑ නොවුණොත්, එහෙමත් නැත්නම් අපි දැක්ක ඒ හීන ලෝකෙ අපි බලන් ඉද්දිම කඩන් වැටුණොත් .....  අනිවාර්යයෙන්ම ඇස් වලට කඳුළු පිරෙනවා." මේ මගේම IMCD සොහොයුරෙක් එක් Needy Readers වැඩ සටහනකදි හීන ගැන කිව්ව හැටි. ඔව්, ඒ කතාව ඇත්ත. අපි හැමෝම හීන දකිනවා. ඒ හීන හැබෑ වුණොත් අපි සතුටු වෙනවා, ටිකක් නෙමෙයි ගොඩක් සතුටු වෙනවා. හීනයක් බොඳ වෙලා යද්දි අපි සමහරු කෑ ගහලා අඬනවා. තවත් අය නිහඬවම කඳුළු සලනවා.

අද මේ කියන්න යන කතාවෙ ඉන්නෙ අපි වගේම පිරිසක්. නමුත් ඔවුන්ට අපේ ලෝකය විතරක් නෙමෙයි අපි දකින හීනවත් දකින්න ඉඩක් නැහැ. මේ කතාවට ඔවුන් සම්බන්ධ වෙන්නෙ අපූරු විදිහකට. වසරකට වරක් අපි කොයි කාටත් උදා වෙනවා විශේෂ දවසක්. දුප්පත් පොහොසත් ළමා වැඩිහිටි හැම කෙනෙක්ටම. ඒ තමයි උපන්දිනය. කොයි තරම් නැති බැරි වුණත් පුළුවන් කමක් තියෙයි නම් වෙනදට වඩා විශේෂ කෑමක් බීමක් හරි තමන්ගේ දරුවට හදලා දීලා පුංචිවට හරි උපන්දිනේ සමරන්න හැම දෙමව්පියෙක්ම හීන දකිනවා.

ඉතින් ඒ වගේම තමයි මේ IMCD පවුලත්. මේ අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා ටික නම් කාගේ හරි උපන් දිනයක් නම් එයාට සුබ පතලා විතරක් නම් නතර වෙන්නෙ නැහැ. පොඩිවට හරි සාදයක් පවත්වලා කාලා බීලා සතුටු වෙන එක පුරුද්දක්. ඔහොම යන කොට ආව අපූරු යෝජනාවක්. පුංචි හරි සාදයකට මුදල් වැය කරනවා වෙනුවට ඒ මුදල අපට වඩා සතුට ගොඩාක් අවශ්‍යම කෙනෙක්ට දෙන්න වියදම් කරමු කියලා. පුදුම වෙන්න දෙයක් නැහැ....... මේ සංවිධානය හදා ගෙන තියෙන්නෙ අපට අඩුවක් නැතිව තියෙන දේවල් ඒවා නැතිව ලැබෙන දවසක් එනකල් හීන දකින තවත් දරුවන් පිරිසක් එක්ක බෙදා හදා ගන්න කැමති පිරිසක් එකතුවෙලානෙ.

ඉතින් ඔන්න ඒ යෝජනාව දැන් ක්‍රියාත්මක කරන්නයි අපේ කට්ටියගේ සූදානම. සැප්තැම්බර්, ඔක්තෝබර් මාස වල උපන්දින සමරපු අපේ යාළුවො වෙනදා වගේ සාද වලට මුදල් වියදම් නොකර ඒවා එකතු කරලා හැදුවා පුංචි අරමුදලක්. දැන් ඊළඟට මොකක්ද මේ මුදලින් අපේ කට්ටිය කරන්න යන්නෙ?

ඔන්න හැමෝම එකඟ වුණා මේ මුදලින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉන්න නිවාසයකට ගිහින් ඔවුන් සමඟ දවසක් ගත කරන්න. අපේ ලෝකයෙන් දවසක් ඔවුන් එක්ක බෙදා ගන්න. ඉතින් එදාට ඒ කියන්නෙ ලබන ඔක්තෝබර් 18 වැනිදාට අපි යනවා ඒ ළමා නිවාසයට. ලොකුවට සාද පවත්වලා උපන්දිනය සමරනවා වෙනුවට ඔයලාට වුණත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපිට වගේ උපන්දිනයක් සමරන්න, ඔවුන් මෙලොවට බිහි කරපු අම්මා තාත්තාවත් ළඟ නැතිව, හීනයක් දකින්නවත් ඉඩක් නැති ඒ පුංචි හිතකට සතුට බිඳක් තුරුලු කරලා එන්න පුළුවන් වුණොත් ඒ සතුට දවසක් දෙකක් නෙමෙයි ජීවිතේ පුරාම අපිත් එක්ක තියේවි.

Let's make them SMILE - Donor Information - Form
මෙන්න මේ යොමුවෙන් ගිහින් ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතුවෙන්න. පුංචි හිතකට සතුට බිඳක් හරි දීලා ලබන උපන්දිනය සුවිශේෂී එකක් කර ගන්න.

0 comments:

Post a Comment