Friday, October 4, 2013

මගේ සිහින පාසැල| MY DREAM SCHOOL

"මට මේස් කුට්ටමක් ඕනේ" පුoචි දසුන් බිමට හරවාගත් හිසින් යුතුව බිඳුනු හඬින් එසේ පවසමින් ඉස්තෝප්පුවට ගොඩවී ගෙතුළට රින්ගුවේ කැඩුනු කොට බිත්තිය උඩ තිබූ නoගීගේ සුදු ගවුම් පොඩි දෙකෙන් එකක් අව්වේ වේලෙන්න දමමින් සිටි අම්මා පසුකරගෙන යමිනි.ඔහු යන දෙස ඇය ශෝකයෙන් බලා සිටියේ මුකුත් නොකියාමය.අඩුලුහුඩුකම් කොපමණ පැවතුනත් නිතර තම ඕනෑ එපාකම් කියමින් කරදර කරන පුරුද්දක් දසුන් ට කිසි කලකත් නොතිබූ බව ඇය හොඳහැටි දනී,තම පුතුගේ හිත හොඳටම රිදෙන යමක් අද පාසලේදී සිදුවී ඇති බව ඇයට නොඅනුමානය,ඇය සුසුමක් සැලුවේ නෙතට ආ කඳුළු බිඳු බිමට වැටෙන්නට නොදී ආයසයෙන් පිසගනිමිනි.ඇය දසුන් සොයා ගියාය.පොත් බෑගයද පසෙකට විසිකොට පැදුරු කඩමල්ල උඩට වැටී මුහුණ පසෙකට හරවා ඉකි ගසන තම කුඩා පුතු දුටු ඇයට හිත වාවගත නොහැකි විය.ඇය පුතු තම ඇකයට ගත්තේ ශොකය පිරි වේදනාවකිනි,නමුත් ඇය ඔහුගෙන් කිසිත් නොඇසුවාය අම්මාගේ උරෙහි මුහුණ හොවාගෙන පුoචි දසුන් නොනවත්වාම හඬන්නට විය.එසේ සෑහෙන වේලාවක් හැඬූ ඔහුට මහන්සියටම නින්ද ගියේය.පුතු පැදුරේ නිදිකරවමින් ගෙයින් එළියට පිවිස ඇය තම ස්වාමියා කුළියට බලන හරක් බාන දක්කන් ඒමට ඔහුට උදව් කරන රිසියෙන් දෙවැට දිග ඉදිරියට ඇදුනි.
නින්දේ උන් දසුන් තිගැස්සී ඇහරුනි, ඔහුට නොදැනී පසුදා අළුයම වීත් හමාරය.කඩි මුඩියේ ළිඳට ගොස් මූන කට සෝදාගත් ඔහුට කලින් දින කිසිවක් මතක නැතුවා සේය.හනික ලක ලෑස්තිවී පොල් සම්බල් සමග අම්මා බෙදා තිබූ බත් පිඟාන ඇය ලවාම බත් ගුලි සාදවා කවාගෙන, දෙදණ බිම ගසා අම්මාටත් අප්පච්චිටත් වැඳ ,පොඩි නoගිගේ අතින් අල්ලාගෙන දෙවැට දිගේ ඉස්කෝලෙට දුවන්නට විය. දෙවැට පසු කොට නියරට පිවිසි ඔහුට හමා එන මද නල වෙනදාට වඩා ප්‍රබෝධයක් විය.ඉස්කෝලය ලඟට පැමිනි පසු ඔහු නoගීගේ අත අතහැර වෙනදාමෙන් ඔහුගේ පන්තිය දෙස දුව යන්නට විය,පුදුමයකි වෙනදා තණකොළ තමන්ට වඩා මදක් උස නොවූ පිට්ටනියෙහි අද අමුතු ලස්සනකි,තණකොළ කපා ඇත,පිට්ටනිය කෙළවර තවත් ළමා උයනකි.එහි දැනටමත් තම පන්තියේ අනෙකුත් ළමයි සෙල්ලම් කිරීම ආරම්භකර ඇත.එකෙක් එක් පසෙකින් වූ පඩි කිහිපයකින් උඩට නැග අනෙක් පසෙන් ලිස්සා පහළට එයි, ටවුම ළඟ ඉස්කෝලෙත් ඔහු මෙවැනිම ලිස්සන පූරුවක් කලින් දැක ඇත,මෙය නම් පුදුමයකි ඉහ වහා ගිය සතුටින් ඔහුත් සෙල්ලම පටන් ගන්නට යත්ම ,පාසල ආරම්භ කිරීමට සීනුව නාද විය,දැන් ඔවුන් පෙළ  සෑදී උදෑසන රැස්වීමට යා යුතුය,ළමයි රොත්ත පිටින් රැස්වීම ඇති පෙදෙසට දුව යනු දුටු ඔහුත් ඒ හා ඇදෙන්නට වියඒ පාර ඔහු දුටුවේ ඉස්කොලේ ගේට්ටුව ළඟ තරමක් දිලිසෙන සුදෙන් යුතු වෑන් රථයකි කලාතුරකින් ටවුමට යන දිනක ඔහු මෙවැනි වාහන දෙස බලා සිටින්නේ ඉමහත් ආසවෙනි,මදක් නැවතී එදෙස බලා සිටි ඔහු දුටුවේ කලින් නොදුටු පිරිසක් මදක් විශාල පෙට්ටි කිහිපයකුත් ඔසවාගෙන ඉතා සිනාමුසු මුහුණින් යුතුව ගුරුවරුන් සිටින දෙසට ඇදෙන අයුරුය. ඔහු අනෙක් ළමුන් අතරින් ගොස් පෝළිමේ ඉදිරියේ සිටගත්තේ මේ වන්නේ කුමක් දැයි දැක ගැනීමටය, ඒ පිරිස අතර ඔහුගේ පියා වැඩ කරන වැඩ පළේ ඉන්නා ඉoග්‍රීසි පමනක් කතා කරනා සුදු මහත්තායා මෙන් වූ සුදු අයියලා අක්කලා කිහිප දෙනෙක්ද විය,අනෙක් අය නම් කොළඹ ,නුවර අයියලා අක්කලා බව විදුහල්පති තුමාගේ කතාවෙන් කියැවිනි. ඔවුන් පැමිණ ඇත්තේ දසුන්ලාට තෑගි බෝග අරන් බව විදුහල්පතිතුමා පැවැසූ විට ඔවුන් සතුටින් සිනාසෙන්නට විය.පිට්ටනිය අළුත් වීමට හේතුවත් ඔවුන් බව තව මිනිත්තු කිහිපයකින් ඔවුන් දැන ගත්තේය,කාලය ගෙවීයත්ම උදෑසන රැස්වීම අවසානයේ ඔවුන්ට ඇත්තෙන්ම තෑගි බෝග ලැබුනි.පුදුමයක මහත කලින් දින මේස් කුට්ටමක් නොමැතිව තැවුනු දසුන් හට තෑගි ලෙස අලුත් පොත් බෑගයක්ද,ලියන පොත් කට්ටලයක් ද සපත්තු කුට්ටමක් හා මේස් කුට්ටම් දෙකක්ද ලැබී ඇත.ඔහු ඉහ වහා ගිය ප්‍රිතියෙන් වට පිට බැලුවේ තමන් මෙන්ම  තෑගි දෙස බලමින් සතුටු වන අනෙක් ළමුන් දෙසය,ඔවුන් සමහරක් අයට පැන්සල් පෙට්ටි,පාට පෙට්ටිද ලැබී ඇත, ඒ සියල්ල සැමට නොවරදවාම පසුව ලැබෙන බව විදුහල්පති තුමා පැවසූවේය.පාසැල අවසන් වූ විගස ඔහුට නිවසට දුවන තුරු ඉවසිල්ලක් නැති විය ,තෑගි මල්ල දෝතින්ම රුවා ගත් ඔහු නoගී ට කලින් ගෙදර දුවන්න විය,තෑගි ලැබුනු පසුත් විසි වතාවක්වත් ඒවා එළියට ගෙන බලන්නට වූවත් ගෙදර ගෙන ගොස් අම්මාට පෙන්නන තුරු ඔහුට ඉවසිල්ලක් නැතිවිය , නියර උඩ නැවතුනු ඔහු පසු පසින් එන නoගී දෙසද බලා මදක් මහන්සි ඇරියේය,ඒ අතර ඔහුට අලුත ලැබුනු සපත්තු ජොඩුව නැවත එළියට ගන්නට සිත් විය,එය  රැගෙන මේස් කුට්ටම ද අනෙක් අතින් ගෙන හතර අතට හරවමින් පරිස්සමින් එහි හැඩ බලන අතර නoගි පිටුපසින් විත් සෙල්ලමට අතින් එල්ලුනාය,ජබුක් ශබ්දයක් සමග අතැතිවූ සපත්තුවක් හා මේස් කුට්ටම නියර පහළ මඩ ගොඩට වැටුනි,පුoචි දසුන්ට සිදු වූ දේ සිතාගත නොහැකිවිය ,ඇඬුම් අතරින් "අම්මා" යැයි මහ හඬින් ඔහුට කෑගැසිනි.. එවිටම අම්මා සුපුරුදු ලෙන්ගතු හඬින් "චූටි පුතේ ඇයි හීනයක් දැක්කාදැයි" අසන්නට විය,දසුන් සිටියේ පැදුරේ අම්මාට පසෙකිනි.

                                                 පුoචි දසුන් දුටු සිහිනය,සිහිනයක්ම ලෙස වියැකී යායුතුද? එවැනි වූ සිහින දකින අහින්සක පුoචි දසුන් ලා දාස් ගණනක් අප රටේ කොතෙකුත් ඉන්නවාද, ඉතින් එවැනි වූ දරුවන් පිරිස් දුටු අපේ රටේ නොවුනත් ,මිනිස්කමින් අපිටම නෑකම් කියන ජුලියා ස්වෙන්ඩෝවා   (Julia Svandova)ස්ලෝවැකියානු ජාතික තරුණියක්, ඇය අප රටට පැමිණි පසුව අප රටේ පිටිසර ගම් දනව් වල ඉන්න දසුන් වැනි කුඩා දරුවන්ගේ හිත්වල ලියවිලා තියෙන අහින්සක සිහින වලට පණ දෙන්න ඇයට කළ හැකි යමක් ගැන සිතන්නේ අනුකම්පාව පෙරදැරිවම නෙවේ නමුත් ලෝකයේ කොතැනක හිටියත් පුoචි හිත්වලට දැනෙන හීන සුන්දර බැව් ඇය දත් නිසාවෙන්ම විය යුතුයි,ඉතින් ඒ සිතුවිල්ලේ ප්‍රථිපලයක් ලෙස ඇය නැවතත් තම මව් රටට ගිහින් පුoචි දසුන්ලා ගේ සිහින සැබෑ කරන්න අවශ්‍යය අඩිතාලම සකසන්න ඊට අවශ්‍යය මූල්‍යමය ප්‍රථිපාදන  රැස් කරනවා, ඇයට ඇගේ රටින් කොපමණ සහයක් ලැබුනත් ඒ සඳහා අපේ රටෙනුත් මග පෙන්වීමක් මෙන්ම සහයක් අවශ්‍යය වෙනව ඉතින් එතනදි තමයි IMCD අපි ඇයත් සමඟ අත් වැල් බැඳ ගන්නේ.මේ සියල්ලේ ප්‍රථිපලයක් ලෙස MY DREAM SCHOOL ව්‍යාපෘතිය බිහි වෙනවා, මෙහි පරමාර්ථය වන්නේ දසුන් වැනි අහින්සක දරුවන් දකින සිහින පාසැල ඔවුන් වෙනුවෙන් සැබෑවක් බවට පත් කර දීමයි, මූල්‍ය ප්‍රථිපාදන අපේ විදේශික සොයුරියගෙන් ලැබුනත් මෙහි සියලූම කටයුතු සූදානම් කිරීමේ තෙක් අවසානයේ ඔවුන්ගේ සිහින සැබෑවක්  බවට පත් වන තෙක් වූ සියළු කටයුතු මෙහයවීම හා ඉටු කිරීම සිදුවන්නේ IMCD අපේම සොයුරු සොයුරියන් අතින්.මෙහි පළමු පියවර ලෙසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි මහකනදරාව පාසල වෙත අවශ්‍යය පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔක්තොම්බර් මාසයේ අවසාන දිනයකදී මෙය සිදු කරන්න දැනටමත් අපේ පිරිස යුහුසුළුව කටයුතු කරන බව පවසන්නේ ඉමහත් ආඩම්බරයෙන්, ඉතින් එදිනට මහකනදරාව විදුහලේ පුoචි දසුන්ලාගේ සිහන පාසැල සැබෑවක්ම බවට පත් වේවි.අවසානයේ තවත් එක් දෙයක් එකතු කිරීමට කැමැත්තෙමි, මෙලෙස ඇරඹෙන ඒ සoකල්පය ඉදිරියට ගෙන යාමේ වගකීම සතුවන්නේ ජූලියා සොයුරියටවත් ඇගේ හිත මිතුරන්ටවත් නොවනු ඇත, එය භාරවනුයේ මේ භූමියේ ඉපදී වැඩුනු මට හා ඔබටයි. ඉදිරියේදීත් අපි ,සිහින පාසැල තවත් එක් සිහිනයක් පමණක් නොවන්නට වග බලා ගනිමු.





                                                                                  - රිද්මි ඉලoගසිo

0 comments:

Post a Comment