Friday, September 6, 2013

ලොකු ලොකු කතා කියන්න මම මෙතැනට අලුත් වැඩියි කියලා දෙතුන් වතාවක්ම මට හිතුනත් ලිපියක් ලියන්න, ලියන්න කියලා දිගින් දිගටම සොඳුරු වදයක් දුන්න යාළුවො කීපදෙනා නිසා ඔන්න මම පටන් ගත්තා. ලියන්න පටන් ගත්තොත් විතරයි ලියවෙන්නෙ. හිත හිතා හිටියට විතරක් කවදාවත් ඉබේ ලියවෙන්නෙ නම් නෑ කියන එක මම දන්නෙ අත්දැකීමෙන්.

"අපි ආරම්භය කියන තැනම තමයි බොහෝවිට අවසානයත් තියෙන්නෙ. යමක් අවසන් කරන්න ඕනි නම් මුලින්ම ඒ දේ පටන් ගන්න ඕනි. අවසානය දක්වා යන ගමන පටන් ගන්නෙ ආරම්භයත් එක්කමයි." එහෙම කියලා තියෙන්නෙ ටී. එස්. එලියට්. 1948 අවුරුද්දෙදි සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානය දිනා ගත්තෙ ඔහු තමයි.
IMCD කියන්නෙ අන්න එහෙම වරු ගණන් හිත හිතා ඉන්නෙ නැතුව වැඩ පටන් ගන්න, පටන් ගත්ත වැඩේ අවසානයක් දකින කල් කැපවීමෙන් මහන්සි වෙන කොල්ලො කෙල්ලො ටිකකගෙ එකතුවක්. හරියටම හරිද දන්නෙ නෑ මම ඒ කියාපු දේ.  :)  ඒත් මට දැනුනෙ එහෙමයි.

මම මේ පිරිසට සම්බන්ධ වෙලා තවම මහ කාලයක් නෑ. හරියටම සති තුනයි. මගේ චූටි කාලෙ හොඳම යාළුවෙක් වුණ තාමත් වෙනසක් නැතුව මගෙත් එක්ක එදා වගෙම ළඟින් ඉන්න Yasho තමයි මාව මෙතැනට හඳුන්වලා දුන්නෙ. අන්න එහෙම තමයි හොඳ යාළුවො වුණාම. ඔන්න ඉතින් එයා කිව්වත් වගේ application එකක් එහෙම පුරවලා මමත් ස්වේච්ඡා සාමාජිකයෙක් විදිහට මේ සංවිධානයට සම්බන්ධ වුණා. ඒත් විභාගෙ සහ තවත් දහසකුත් එක්ක දේවල් නිසා එතැනටම  ගිහින් මේ පිරිස දැන අඳුනා ගන්න එක දවසින් දවස කල් ගියා.

අන්තිමේදි ඔන්න මම දැක්කා අලුත් event එකක් තියෙනවා කියලා එයාලගෙ Facebook group එකේ දාලා තියෙනවා. මම Blog එක ලියන සම්බන්ධ වෙන්න කැමතියි කිව්ව හැටියෙම නාඬියා (හෙවත් හරිත) මට කිව්වා ඒකට ඇවිත් කට්ටියව දැන අඳුන ගන්න කියලා. ඉතින් මම Yashoටත් කතා කරලා එනවා කියලා වැඩසටහන තියෙනවා කියලා සඳහන් වුණ මහරගම Youth Center එකට එනකොට උදේ 7.30යි. එදා අගෝස්තු 18 වැනි ඉරිදා. උදේ 8ට එන්න කියලා තිබුණ නිසාත් පළවෙනිම දවස නිසාත් තමයි කල් තියාම ගෙදරින් ආවෙ. කෝ ඒත් කවුරුවත්ම පේන්න නෑ. මගෙ යාළුවත් එන පාටක් පේන්න නෑ. මම එහෙ මෙහෙ ඇවිද ඇවිද බලන අතරෙ තමයි ඈතින් එන පිරිමි ළමයි දෙන්නෙක්ව දැක්කෙ. එක ළමයෙක් ඇඳලා හිටියෙ Needy Readers කියලා සටහන් කරපු ටී - ෂර්ට් එකක්. මම දුවලා ගිහින් එයාලත් එක්ක කතා කළා. ඒ චේතක අයියා සහ අනූප. ඔන්න එයාලත් එක්ක තමයි මුලින්ම මම IMCD එකට හා පුරා කියලා ගොඩ වැදුනෙ.

එදා Color A Dream (CAD) ව්‍යාපෘතියෙ පළවෙනි දවස. ගිය ගමන්ම මට හම්බ වුණා වැඩක්... ඒ වැඩසටහන තිබුණ ශාලාව සරසන්න බිත්තියෙ අලවන්න පාට කොළ වලින් මල් කපන එක. අලුතින් ආව ළමයෙක් කියලා කිසිම වෙනසක් තිබුණෙ නෑ එතන හිටපු කාටවත්. හැම කෙනෙක්ම ඇවිත් බොහොම සුහදව කතා බහ කළා. ඒ හැම කෙනෙක්ම මගෙ යාළුවෙක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. වැඩ කරන ගමන් එකිනෙකාට කරන විහිළු තහළු , මඩ ප්‍රහාර වලත් අඩුවත් නම් තිබුණෙ නෑ.

ඔන්න ඔය විදිහට මාත් මේ Needy Readers කියන ආදරණීය පවුලෙ සාමාජිකයෙක් වුණා. Needy Readers කියන්නෙ IMCD එකෙන් මුලින්ම පටන් ගත්ත ව්‍යාපෘතිය. අලුතින් එන අපි හැමෝම වගේ මුලින්ම සම්බන්ධ කරගන්නෙ මේ ව්‍යාපෘතියට.

සතිය පුරාම campus ජීවිතේට හිර වෙලා ඉන්න මම යන්තම් ගෙදර යන්නෙ සෙනසුරාදා හවස 1.30 වෙනකල් තියෙන දේශනයත් ඉවර වෙලා. ඊළඟට IMCD රැස්වීමට යන්න ඕනි නිසා දැන් ඉරිදා උදෙන්ම ගෙදරින් ආපහු කොළඹ එන එක දැන් පුරුද්දක් වෙලා. ගෙදර ඉන්න තියෙන එකම දවසත් ඉන්නෙ නැති එක ගැන අම්මා දාන වලි යන්තම් ශේප් කරගෙන මෙතනට එන්නෙ සතියෙම මහන්සිය මෙතෙන්ට ආවම නැතුව යන නිසා. කවදාවත් රැස්වීම ඉවර වෙනවයි කියලා කියාපු වෙලාවට ආපහු යන්න නම් තාමත් පුළුවන් වුණේ නෑ. මොකද මේ හැමෝටම මෙතන ගෙදර වගේ නිසා ගෙදර යන්න තරම් සිහියක් නෑ මෙතෙනට ආවම. ලොකු වැඩ සැලසුම් කරන්නෙ හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් ....

ඇත්තෙන්ම මේක අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා ගොඩාක් එකට ඉන්න සහෝදරත්වයෙන් බැඳුනු එකම පවුලක්. එයාලගෙ එකතුවට කරන්න බැරි දෙයක් නැති තරම්. මට දැනුනෙ ඔන්න ඔහොමයි. .....

2 comments:

  1. මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලේ Needy Readers මගේ පවුල. ඒ පවුලට අලුතින් එකතු වෙච්චි ටැමරින් නඟා හරිම සන්තෝසෙන් පිලිගන්නවා ඈ! :)
    ~ලෝකය වෙනස් කරන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි~

    ReplyDelete
  2. ටැමරින් නගා වැඩ්ඩෙක්නෙ..මෙච්චර ලස්සන්ට ලියන්ට පුළුවන් කියල කවුද හිතුවෙ? :O අපේ "පවුල" ගැන ඔයාට හිතෙන් විදිය අහලා මට ගොඩක් සතුටුයි...

    ReplyDelete