Wednesday, September 11, 2013

                     

                       රටක් සංවර්ධනය කිරීමේ වගකීම වනාහී එකී රට පාලනය කරනා පාලන තන්ත්‍රයට සීමා වූවක් නොවේ. ඊට දායක වීම රටේ ජීවත්වන බාල තරුණ මහළු සෑම සියලු දෙනාගේම වගකීමක් ලෙස එය හැඳිනන්විය හැක. මෙහිදී රටේ ජීවනාලිය ලෙස අප රටේ තරුණ පරපුර හැඳින්විය හැක.
      
                                       
"රටක සමාජය වෙනස් කළ හැක්කේ එහි තරුණ පරපුරටයි."
                                                                                                          -ඒබ්‍රහම් ලින්කන්-

      ඉහත එක්සත් ජනපද හිටපු ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයෙන්ද කියවෙනුයේ තරුණ ජීවිත වල ඇති වටිනාකමය. රටක තරුණ පරපුර යනු එම මිහි මාතාවගේ  ගෙලෙහි බැබලෙන රත්‍රන් හරයක් හා සමානය.ඉතින් එය එසේ වන්නා සේම  අප දිවයිනේ අගනගරයේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක සිසුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් IMCD එනම් "සමාජ සංවර්ධනය උදෙසා වු අන්තර්ජාතික සහයෝගීතාව" ආරම්භ විය.
         
     දිනෙන් දින තරඟකාරී හා සංකීර්ණ වන සමාජය තුළ අගහිඟකමින් මිරිකි යන ළමා පරපුරර උදෙසා හැකි අයුරින් දායක වීම පෙරදැරි කරගනිමින් යහපැවැත්මෙන් යුතු සමාජ සංස්තාවක් බිහිකරනු වස් සරසවි සිසුන් කිහිප දෙනෙකුගෙන් ඇරඹි මෙම සහයෝගීතාව අද වන විට අප සමාජය සංවර්ධනය උදෙසා ව්‍යාපෘති කිහිපයකින් දායක වේ. එනම්
Needy Readers, Colour a Dream, Path to Wisdom යනුවෙනි. මෙකී ව්‍යාපෘති අතරින් Needy Readers ව්‍යාපෘතිය මේවන විට සීග්‍රයෙන් ප්‍රචලිත වන ව්‍යාපෘතියක් ලෙස ගෙනහැර දැක්විය හැක. පාසල් පද්ධතිය තුළ පොත්පත් හිඟකමකින් යුතු පුස්තකාල සඳහා පොත්පත් ලබාදීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරනු ලබන අතර මේවන විටත් අදියර කිහිපයකින් එය සාර්ථකවී ඇත.
      
      හංවැල්ල
,රාජගිරිය,රත්නපුර,නිවිතිගල,සඳලංකාව,පන්නල,ඉන්ගරදමුල,දෑල,බොරැල්ල ප්‍රදේශ වල පොත්පත් පාසල් හා පුස්තකාල සඳහා 12000 ට අදික පොත් සංඛ්‍යාවක් ලබා දුන් අතර පසුව ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේද අති සාර්ථක ලෙස පොත් පරිත්‍යාගයක් සිදුකළේය. අගනුවර සරසවි සිසුන් කිහිපයකගේ අප්‍රතිහත ධෛර්‍රයයෙන් ඇරඹි මෙම මෙහෙවර මේ වන විට දිවයින පුරාපිහිටි විශ්ව විද්‍යාල සිසුන් හා වෘත්තිකයන් දක්වා සාමාජිකත්වය විහිදී ඇත. එහි උච්චතම ප්‍රතිඵලයක් වනුයෙ IMCD Kandy Chapter නොහොත් සමාජ සංවර්ධනය උදෙසා වු අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ මහනුවර පරිච්ඡේදයේ ආරම්භයයි.  
    
        හන්තාන තුරුලිය ගොමුවෙන් වටවු ද මහවැලි නදියෙ සිහිලැල් දිය දහරින් හැඩගැන්වූ පේරාදෙණිය සරසවිය මුල්කරගෙන මහනුවර පරිච්ඡේදය ආරම්භ වූ අතර කොළොම්තොට සිටිනා ස්වකීය සහෘදයන්ගේ උපකාර සහ අභිසෙස් මද්‍යයේ ඇරඹි එය අද වන විට වටිනා මෙහෙවරකට උර දෙන්නට සැදී පැහැදී ඇත. එනම් මහනුවර පරිච්ඡේදයේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස
Needy Readers ව්‍යාපෘතිය සඳහා අවැසි පොත්පත් ලබා දීමේ වටිනා කර්තව්‍යයි.

        
ඇත්තා වූ දහසකුත් එකක් අධ්‍යාපන කටයුතු මද්‍යයේ මේවන විටත් සිය ප්‍රථම ව්‍යාපෘතිය, Kandy City Center  මුලික කරගෙන සැප්තැම්බර් 14 හා 15 යන දෙදින තුළ නිල වශයෙන් ඇරඹීමට කටයුතු යොදා ඇත. මෙදින IMCD යනු කුමක්ද? ඉන් සමාජයට ඇති ඵලදායිතාවය කුමක්ද? යන්න මහනුවර ප්‍රජාව දැනුවත් කරනු ලබන අතර ප්‍රධාන අරමුණ වන්නේ Needy Readers ව්‍යාපෘතිය පිළිබඳ මහනුවර ප්‍රජාව දැනුවත් කොට පොත්පත් ලබාගැනම ය. තරුණ පරපුර වෙනත් දුබල අරමුණු හොයා යන කලක මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සැබැවින්ම අගය කළ යුතු කරුණකි.

     නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගනිමින්  මේ භුමි තලයේ සිසුන් සියල්ල අනාගත පරපුර උදෙසා සිය යුතුකම් ඉටු කිරීම
වර්තමානයේ සේම අනාගතයේත් මේ ආකාරයෙන් සිදුකරයි නම් අනාගත ශ්‍රී ලංකාව කෙතරම් නම් සුන්දර වේද. ඉතින්  ඒ වෙනස සිදු කිරීමට අප සැමට හැකියාව ඇත්තේය. මහනුවර KCCයට පැමිණ පොතක් පිරිනමා අනාගතයක් එළිය කිරීමට ඔබ සැමට අවස්ථාව ඇත. අනාගත සමාජය යහපැවැත්මෙන් යුත් සුවදායි සමාජයක් කිරීමට අවශ්‍ය වනුයේ උත්සහය,උනන්දුව හා කැපවීම පමණි. ඉතින් ඊට අවැසි මුල් පියවර නිදහස් අධ්‍යාපනයෙන් ලොව ජයගත් සිසුන්ම තැබීම  සැබැවින්ම මනා පූර්වාදර්ශයකි.
                                                                   
                                                                     ඔබ සැමට ජය!
                                                               -නාලක ප්‍රභාෂ් දසනායක-

0 comments:

Post a Comment